රුධිර පරීක්ෂණ සඳහා වැඩිපුර අයකිරීම් ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් පෞද්ගලික රෝහල් 23කට දඩ

Venus speciality  hospital  (Private) LTD - රෝහලේ ඡායාරූපයකි

ඡායාරූප මූලාශ්‍රය, Venus Speciality Hospital

    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 4

පූර්ණ රුධිර සංඛ්‍යාත පරීක්ෂාවක් (FBC) සඳහා රෝගයෙකුගෙන් අය කළ යුතු උපරිම මිල රුපියල් 400ක් බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනවා ඇති නියමයන්ට එරෙහිව යමින් පූර්ණ රුධිර පරීක්ෂාවක් සඳහා රුපියල් 550ක මුදලක් නීතිවිරෝධී ලෙස අය කළ බවට අධිකරණය හමුවේ වරදකරු වූ පෞද්ගලික රෝහලකට යාපනය අතිරේක මහේස්ත්‍රාත් එම්.එන්.එන්. හුසේන් මුදලින් රුපියල් ලක්ෂ 30ක දඩයක් නියම කළේ ය.

​විත්තිකාර රෝහලට මෙලෙස මුදලින් රුපියල් ලක්ෂ 30ක දඩ මුදලක් නියම කළේ, අදාළ රෝහලට එරෙහිව අධිකරණය හමුවේ පැවති චෝදනාවට එම රෝහල වරද පිළිගැනීමෙන් අනතුරුව ය.

​මෙසේ දඩ නියම වූයේ, යාපනය පාලාලි පාර, කන්දර්මඩම් ප්‍රදේශයේ පිහිටි Venus Speciality Hospital (Private) LTD රෝහලට ය.

නියමිත මිලට වඩා රුපියල් 150ක මුදලක් ගත් බවට චෝදනා

මෙම වරද සඳහා අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ තිහක දඩ මුදලක් අධිකරණය මගින් නියම කළ බව සඳහන් කරමින් සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් ම ජාතික පුවත්පත්වල දැන්වීම් පළකර අදාළ පුවත්පත් දැන්වීම් වාර්තා සතියක් ඇතුළත අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද අතිරේක මහේස්ත්‍රාත්වරයා විත්තිකාර රෝහලට තවදුරටත් නියෝග කළේ ය.

​පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ උතුරු පළාත් කාර්යාලය මගින් කළ වැටලීමකදී මෙම විත්තිකාර රෝහල පූර්ණ රුධිර පරීක්ෂාවක් සඳහා අයකළ යුතු රුපියල් 400ක මුදල වෙනුවට, රුපියල් 550ක මුදලක් අය කරගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

එනම්, පූර්ණ රුධිර පරීක්ෂණයක් සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නියම කර ඇති නීතිමය මිල ඉක්මවා රුපියල් 150ක මුදලක් අදාළ රෝගියාගෙන් වැඩිපුර අය කරගෙන තිබිණි.

​පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ උතුරු මැද පළාත් සහකාර අධ්‍යක්ෂ ඒ.එල්. ජවුෆර් සාදික්ගේ මෙහෙයවීම යටතේ එම කාර්යාලයේ විමර්ශන නිලධාරීන් මෙම වැටලීම සිදු කර තිබිණි.

​පැමිණිල්ල වෙනුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ උතුරු මැද පළාත් සහකාර අධ්‍යක්ෂ ඒ.එල්. ජහුෆර් සාදික්ගේ උපදෙස් මත විමර්ශන නිලධාරී ටී. රජීවන් පෙනී සිටි අතර විත්තිකාර රෝහල වෙනුවෙන් නීතිඥ ජෝදිවෙල් ගොඩෙල් පෙනී සිටියේ ය.

උපාය දූතයෙක්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ උතුරු මැද පළාත් කාර්යාලයේ විමර්ශන නිලධාරී ටී. රජීවන් රෝගී වෙසින් උපාය දූතයෙකු ලෙස ගොස් විත්තිකාර රෝහලෙන් පූර්ණ රුධිර පරීක්ෂණ වාර්තාවක් ලබා ගැනීම සඳහා යැයි පවසා රුපියල් 550ක මුදලක් ගෙවා රිසිට් පතක් ලබා ගැනීමෙන් අනතුරුව විත්තිකාර රෝහල නියමිත මිල ගණන් අභිබවා යමින් අධික මිල ගණන් අයකරන බව තහවුරු කරගෙන තිබිණි.

ඒ අනුව, මෙම නඩුව පවරා තිබුණේ, 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ, 20(5) වැනි වගන්තිය උල්ලංඝණය කළ බවට චෝදනා කරමිනි.

විවිධ වැරදි සම්බන්ධයෙන් දඩ නියම කළ අනෙක් රෝහල් මෙන්න

ඊට අමතරව, කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය හා ඖෂධ සම්බන්ධයෙන් පෞද්ගලික රෝහල් සහ රසායනාගාර 23කට එරෙහිව නඩු පවරා ඇති අතර, එම රෝහල්වලින් රු. මිලියන 5.7කට අධික දඩ මුදල් අය කර ගැනීමට අධිකරණය නියම කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

මෙම විශේෂ විමර්ශන හා වැටලීම්වලදී ප්‍රධාන වශයෙන් පහත සඳහන් වැරදි අනාවරණය වී තිබේ.

  • රෝග විනිශ්චය සහ වෛද්‍ය පරීක්ෂණ සඳහා යොදා ගන්නා කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය භාවිතයට ගැනීම සහ භාවිතයට සූදානම් කර තබා ගැනීම.
  • කල් ඉකුත් වූ ඖෂධ වර්ග රෝගී සත්කාර සඳහා භාවිතයට තබා ගැනීම සහ පාරිභෝගිකයන්ට අලෙවි කිරීම.
  • පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නියම කර ඇති උපරිම මිල ගණන් ඉක්මවා රසායනාගාර පරීක්ෂණ සඳහා ගාස්තු අය කිරීම.
  • කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය, කල් ඉකුත් නොවූ රසායනික ද්‍රව්‍ය සමග වෙන් කිරීමකින් තොරව එක ම ස්ථානයක ගබඩා කර තැබීම.

ඉහත සඳහන් වැරදි සම්බන්ධයෙන් වැරදිකරු වූ රෝහල් සහ රසායනාගාර ද එම දඩ මුදල් ද පහත දැක්වේ.

  • වීනස් ස්පෙෂලිටි හොස්පිට්ල් (2026/07/21) - රු. 3,000,000.00 (යාපනය මහේස්ත්‍රාත් අධිකරණය)
  • ලංකා හොස්පිටල් ඩයොග්නොස්ටික් (ප්‍රයිවට් ලිමිටඩ්) (2026/07/22) - රු. 800,000.00 (කොළඹ අංක 05 ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය)
  • ආසිරි හොස්පිටල් හෝල්ඩිංස් පී.එල්.සී. (2026/07/22) - රු.100,000.00 (කොළඹ අංක 05 ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය)
  • ආසිරි හොස්පිටල් හෝල්ඩිංස් (2026/07/20) - රු. 200,000.00 (බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය)
  • නවලෝක ලැබෝරටරීස් පෞද්ගලික සමාගම (2026/07/22) - රු.100,000.00 (කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය)
  • කිංග්ස් හොස්පිටල් කලම්බු පෞද්ගලික සමාගම (2026/07/15) - රු.100,000.00 (කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය)
  • ඩර්ඩ්න්ස් හොස්පිටල්ස් (2026/07/15) - රු.100,000.00 (කොළඹ අංක 05 ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය)
  • ඩර්ඩ්න්ස් මෙඩිකල් සෙන්ටර් (ප්‍රයිවට්) ලිමිටඩ් (2026/07/17) - රු.100,000.00 (අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය)
  • සමූපකාර රෝහල MPCS සමාගම (2026/07/17) - රු. 200,000.00 (එරාවූර් අධිකරණය)
  • සිලෝන් හොස්පිටල් පී.එල්.සී. (2026/07/20) - රු. 400,000.00 (බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය)
  • සිලෝන් හොස්පිටල් පී.එල්.සී. (2026/07/16) - රු. 50,000.00 (මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය)
  • නව සුව සෙවන පෞද්ගලික රෝහල (2026/07/17) - රු.100,000.00 (අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය)
  • ලංකා හොස්පිටල් ඩයොග්නොස්ටික් (ප්‍රයිවට්) ලිමිටඩ් (2026/07/17) - රු.100,000.00 (අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය)
  • රෝයල් හොස්පිට්ල් (ප්‍රයිවට්) ලිමිටඩ් (2026/07/17) - රු.100,000.00 (අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය)
  • යාල් මදර් කෙයාර් හොස්පිට්ල් (2026/07/21) - රු.100,000.00 (යාපනය මහේස්ත්‍රාත් අධිකරණය)
  • වයඹ ඩයග්නොස්ටික් මෙඩිකල් ලැබෝරටරි (ප්‍රයිවට්) ලිමිටඩ් (2026/07/17) - රු.100,000.00 (අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය)
  • යුනික් ඩයග්නොස්ටික් (ප්‍රයිවට්) ලිමිටඩ් (2026/07/17) - රු.100,000.00 (අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය)
  • ආලෝකා ඩයග්නොසිස් ලැබෝරටරි (2026/07/22) - රු.10,000.00 (බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය)
  • හෙළදිව හෙල්ත්කෙයා සෙන්ටර් (2026/07/15) - රු.7,000.00 (මාතර මහේස්ත්‍රාත් අධිකරණය)
  • යුනියන් මෙඩි ලැබ් (2026/07/15) - රු.7,000.00 (මාතර මහේස්ත්‍රාත් අධිකරණය)
  • මොහොට්ටි මෙඩි ලැබ් (2026/07/15) - රු.7,000.00 (මාතර මහේස්ත්‍රාත් අධිකරණය)
  • නිව් ලොජික් රසායනාගාරය (2026/07/15) - රු.7,000.00 (මාතර මහේස්ත්‍රාත් අධිකරණය)
  • රවිඳු රසායනාගාර (2026/07/20) - රු.10,000.00 (බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය)