චීන ජාතිකයෙකුගේ මුදල් කොල්ල කෑම: හිටපු ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ගැන අධිකරණය දුන් තීරණය

හිටපු අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා අධිකරණයට රැගෙන ආ අයුරු.
Published
කියවීමේ කාලය: මිනිත්තු 4

චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි දෙකකට අධික මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා පැය 24ක කාලයක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (ජූලි 22) අවසර දුන්නේ ය.

සිද්ධියට අදාළ විමර්ශන කටයුතු පොලිස්පතිවරයා තමන් වෙත භාර කළ බවට, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරයා එලෙස අවසර දී තිබිණි.

හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා වන අනුජ දිනුජිත් බණ්ඩාර සම්බන්ධයෙන් එලෙස නියෝග කෙරිණි.

කොළඹ, කොල්ලූපිටිය ප්‍රදේශයේදී චීන ජාතිකයෙකු සන්තකයේ තිබූ රුපියල් කෝටි දෙකකට අධික මුදලක් කොල්ලකන ලදැයි කියන සිද්ධියකට අදාළව කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් සිව් දෙනෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

වැඩිදුර විමර්ශන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු ද සමග සිද්ධියට අදාළව කරන ලද විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ කොටුව පොලිසියේ නිලධාරීහු, සිද්ධියට අදාළව කරනු ලබන විමර්ශන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට භාර දී ඇති බව පොලිස්පතිවරයා විසින් තමන්ට දැනුම් දී ඇතැයි අධිකරණයට දැනුම් දුන්හ.

සිද්ධියට අදාළ විමර්ශන පැවැත්විය යුතු හෙයින් සැකකරු පැය 24ක කාලයක් තම කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවශ්‍ය වී ඇතැයි දැනුම් දුන් එම කාර්යාංශය අධිකරණයෙන් ඒ සඳහා අවසර ඉල්ලා සිටියේ ය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කරුණු දක්වමින් මෙම සිද්ධියට තම සේවාදායකයාගේ කිසිදු සම්බන්ධයක් නැතැයි ද, අවම වශයෙන් ඔහු මෙහි පැමිණිලිකරු හෝ හඳුන්වන්නේ නැතැයි ද පැවසූහ.

සැකකරු සමග කොළඹ රාජකීය විද්‍යාලයේ එක ම පන්තියේ ඉගෙන ගත් ප්‍රමිල් නමැති පුද්ගලයා මගින් හඳුනාගත් චීන ජාතිකයෙකුගේ ආරක්ෂාව සඳහා සැකකරු දන්නා හඳුනන පුද්ගලයෙකු ලබා දී ඇති බවත්, ඔවුන් හරහා සිදුවූ දේ සඳහා තම සේවාදායකයාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් නීතිඥවරුන් අධිකරණය හමුවේ පවසා තිබේ.

තම සේවාදායකයා පෞද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය හදාරන සිසුවෙකු බවත්, අඩු ම තරමින් තම සේවාදායකයා මෙම අපරාධයට සම්බන්ධ වී ඇත්තේ කුමන ආකාරයකින් ද යන්න පැහැදිලි කරන සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් හෝ පොලිසිය ඉදිරිපත් කර නැති බවත් නීතිඥවරුන් පෙන්වා දී ඇත.

දෙපාර්ශවයේ ම කරුණු සැලකිල්ලට ගනිමින් සැකකරු පැය 24ක කාලයක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරයා හෙට (ජූලි 23) යළි සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද පොලිසියට නියම කළේ ය.

මුදල් කොල්ලකෑමේ සිද්ධිය සිදුව ඇත්තේ කෙසේ ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ පෞද්ගලික සමාගමක කළමනාකරුවෙකු ලෙස සේවයේ නියුතු චීන ජාතිකයෙකු බව පොලිසියේ ප්‍රකාශයෙක් බීබීසී සිංහල සේවයට පැවසුවේය.

ජූලි 13 වන දා අදාළ චීන ජාතිකයා කොල්ලුපිටිය, ග්ලේන් ආබර් මාවතේ මෝටර් රථය නවතා සිටින අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු තමන් පොලිසියෙන් බව පවසා එම චීන ජාතිකයාගේ ගුවන් බලපත්‍රය පරීක්ෂා කර ඇත.

එලෙස ගුවන් බලපත්‍රය පරීක්ෂා කරන අවස්ථාවේදී චීන ජාතිකයා සිටි මෝටර් රථයේ තිබූ මුදල් බෑගය කොල්ලකා එම පුද්ගලයා පලා ගොස් ඇති අතර චීන ජාතිකයා ඇතුළු පිරිසක් ඔහු පසු පස හඹා ගොස් ඇති බව පොලිස් ප්‍රකාශකයා පැවසුවේ ය.

මුදල් බෑගය රැගෙන බම්බලපිටිය දෙසට පළා ගිය අදාළ පුද්ගලයා ත්‍රිරෝද රථයක නැගී පළා යන අවස්ථාවේදී චීන ජාතිකයා ඇතුළු පිරිස අදාළ පුද්ගලයා අල්ලා ගැනීමට සමත්ව තිබේ.

අල්ලා ගන්නා ලද සැකකරු එම අවස්ථාවේ අදාළ ප්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කණ්ඩායමක් වෙත භාර දී ඇති බව පොලිස් ප්‍රකාශකයා බීබීසී සිංහල සේවයට පැවසීය.

රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් මෙලෙස කොල්ලකා ඇති අතර අදාළ සිදුවීමට සැකපිට අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 4 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ ප්‍රකාශකයෙක් බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසුවේ ය. එම පිරිස අතර සැකපිට අත්අඩංගුවට ගන්නා ලද චීන ජාතිකයෙකු ද වේ.

අදාළ සිදුවීම සිදුවන අවස්ථාවේදී හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා එම ස්ථානයේ නොසිටි බවත්, පසුව කරන ලද විමර්ශන අනුව ඔහු ද මෙම මුදල් කොල්ලකෑමට සම්බන්ධ බවට අනාවරණය වූ බැවින් ඔහු කොල්ලුපිටිය පොලිසියට පැමිණ භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා විය.