සුරේෂ් සලේ වෙනුවෙන් දින 7ක් කළ කරුණු දැක්වීම අවසන්: අධිකරණයේදී සිදුවූයේ කුමක් ද?

සුරේෂ් සලේ

ඡායාරූප මූලාශ්‍රය, ITJP

Published
කියවීමේ කාලය: මිනිත්තු 4

2016 වසරේ ශ්‍රී ලංකාව තුළ ISIS මතවාදය මුල් කර ගත් ඉස්ලාමීය අන්තවාදී ක්‍රියාකාරකම් උත්සන්න වීම සම්බන්ධයෙන් එවකට යුද හමුදා බුද්ධි බළකායේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ සුරේෂ් සලේ ආරක්ෂක මණ්ඩලය දැනුවත් කර තිබූ බවත්, ඊට ආරක්ෂක මණ්ඩලයේ සිටි යම් ඉහළ පුද්ගලයෙකු එවැනි කරුණු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අකැමැත්ත පළ කර තිබූ බවත් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අඟහරුවාදා (ජූලි 21) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති රිට් පෙත්සම යළි සලකා බැලූ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මේ බව පැවසීය.

"ISIS ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයේ මතවාදයන් ශ්‍රී ලංකාව තුළ දරුණු ලෙස ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව 2016 වසරේ පෙත්සම්කාර සුරේෂ් සලේ යුද හමුදා බුද්ධි බළකායේ අධ්‍යක්ෂවරයා ලෙස ආරක්ෂක මණ්ඩලයේදී අවධානය යොමු කර තිබූ බව සඳහන් කළා.

"එම මතවාද ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වන ආකාරය සහ එහි අනතුරුදායක තත්ත්වය පිළිබඳවත් ඔහු එහිදී කරුණු දක්වා තිබුණා. සිරියාවේදී එල්ල කෙරුණු ගුවන් ප්‍රහාරයකින් IS සංවිධානයට සම්බන්ධ වූ ශ්‍රී ලාංකිකයකු මිය ගොස් තිබුණා. පසුව එම සංවිධානයට සම්බන්ධ වූ ශ්‍රී ලාංකිකයින් ගැන යුද හමුදා බුද්ධි බළකාය විමර්ශනයක් සිදුකළා. පසුව ශ්‍රී ලංකාව තුළ ඉස්ලාමීය අන්තවාදය මැඩ පැවැත්වීම සඳහා ගත යුතු පියවර ඇතුළත් "සංකල්ප පත්‍රිකාවක්" සුරේෂ් සලේ විසින් සකස් කළා. ඒ සඳහා කාර්ය සාධක බලකායක් පත් කළ යුතු බවටත් ඔහු යෝජනා කළා.

"මේ සියල්ල ඔහු එවකට ආරක්ෂක ලේකම් ඉන්ජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි වෙත ඉදිරිපත් කර තිබුණා. නමුත් ඉස්ලාමීය අන්තවාදය සම්බන්ධයෙන් සුරේෂ් සලේ දැක්වූ කරුණු දැක්වීම් සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ පුද්ගලයෙකු කැමැත්තක් පළ කළේ නැහැ. ඊට එම පුද්ගලයා අකැමැත්ත පළ කර තිබුණා. ඒ බව එවකට යුද හමුදාපති වශයෙන් කටයුතු කළ ජගත් ක්‍රිශාන්ත ද සිල්වා විසින් ජනක් ද සිල්වා කොමිසමට ලබාදී තිබූ සාක්ෂියේ සදහන් කර තිබෙනවා.

"මේ හේතුවෙන් ඉස්ලාමීය අන්තවාදී කටයුතු පිළිබඳ සුරේෂ් සලේ විසින් ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කළ කරුණුවල යම් අඩාළ වීමක් සිදු වූ බව එවකට හමුදාපතිවරයා කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබුණා. ඊට මාස දෙකකට පමණ පසුව සුරේෂ් සලේ යුද හමුදා බුද්ධි බළකායෙන් ඉවත් කර මැලේසියාවට යවනවා. දේශපාලන හේතුන් මතයි මේක සිදුවුණේ.

"මේ ආකාරයට ඉස්ලාමීය අන්තවාදයට එරෙහිව කටයුතු කළ පුද්ගලයෙකු පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස නම් කරන්නේ කෙසේ ද? මේ නිසා වර්තමානයේ ඉස්ලාමීය අන්තවාදය රට තුළ ප්‍රචලිත වීමට රුකුලක් වී තිබෙනවා. ඉස්ලාමීය අන්තවාදය පිළිබඳව සොයා බලන බුද්ධි නිලධාරීන් එකිනෙකා රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබූවහොත් මෙම තත්ත්වය පිටුදකින්නේ කෙසේ ද?" යනුවෙන් පෙත්සම කැඳවූ අවස්ථාවේදී රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ ය.

තවදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා මෙසේ ද පැවසීය:

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"ස්වාමීනී... මෙම විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ප්‍රංශයට ගොස් එහි තිබෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය භූමියට අසාද් මවුලානා නමැති වරෙන්තුකරු කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබෙනවා. මේක සම්පූර්ණයෙන් ම වැරදි ක්‍රියාවක්.

"අසාද් මවුලානා යනු දේශපාලන සරණාගතභාවය අපේක්ෂාවෙන් සිටින පුද්ගලයෙක්. ඔහු ශ්‍රී ලංකාවේ අධිකරණය දැඩි අපහාසයට ලක් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ අධිකරණය ඉහළ සිට පහළට ම දූෂිත බව ප්‍රකාශ කර තිබෙනවා. මෙවැනි පුද්ගලයෙකු ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශයක් සටහන් කර ගත්තේ කෙසේ ද? මේක ලැජ්ජාවට කරුණක්.

"2018 වසරේ පෙබරවාරි මස දිනක සුරේෂ් සලේ සහ සහරාන්ගේ කණ්ඩායමක් අතර හමුවක් වනාතවිල්ලුව ප්‍රදේශයේ සිදුවූ බව අසාද් මවුලානා ප්‍රකාශ කර තිබූණා. මේක අමූලික බොරුවක්. ඒ අවස්ථාවේදී සුරේෂ් සලේ ශ්‍රී ලංකාවේ සිටියේ නැහැ. ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය පරීක්ෂා කළා ම ඒ බව පැහැදිලිව පෙනී යන කරුණක්."

"රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දුන් දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා පාස්කු ප්‍රහාරය එල්ල වීමට පෙර දින සවස මෙම ප්‍රහාරය පිළිබඳව සදහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න වෙත තමා වට්ස්ඇප් පණිවිඩයක් යවා තිබූ බව. රවී සෙනෙවිරත්න ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ජනක් ද සිල්වා කොමිසමට ලබාදුන් ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා සහරාන් හෂීම් ඇතුළු අනුගාමිකයින්ගේ අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත්ව සිටි බවට. එසේ නම් ඔහු පාස්කු ප්‍රහාරය වැළැක්වීමට කිසිදු පියවරක් නොගත්තේ ඇයි?," යනුවෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළේ ය.

"ස්වාමීනී... පෙත්සම්කාර සුරේෂ් සලේගේ මව කිතුණු භක්තික කාන්තාවක්. ඇය අධිකරණයට පැමිණ සිටිනවා. පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වූ දින ඇය නුගේගොඩ කිතුණු දේවස්ථානට ගොස් තිබුණා. ඇය දරුවන් තුන් දෙනෙකු යුද හමුදාවට භාරකර තිබෙනවා. ඔවුන් අද අධිකරණයට පැමිණ සිටිනවා. මෙම පෙත්සම්කරු සෑම අඟහරුවාදා දිනක ම සිය මව සමග ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයට යන කෙනෙක්. මෙවැනි පුද්ගලයෙකු කිතුණු දේවස්ථානවලට පහර දීමට සැලසුම් කරයි ද? ස්වාමීනි..." යනුවෙන් ද ඔහු ප්‍රශ්න කළේ ය.

දින හතක් පුරා පැවති පෙත්සම්කාර පාර්ශවයේ දේශන අඟහරුවාදා ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන විසින් අවසන් කරනු ලැබිණි.

ඉන් අනතුරුව නිතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් සඳහන් කළේ, මෙම පෙත්සම සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කිරිමට අපේක්ෂා කරන බව ය.

ඒ අනුව, අධිකරණය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියට නියම කළේ, අදාළ මූලික විරෝධතා ලබන 27 වන දා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ය.