ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.

ප්‍රධාන වෙබ් අඩවියට ගෙන යන්න

අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න

මීගමුව බන්ධනාගාරයේ ගැටුම ගැන විමර්ශන CIDයට

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාව පිළිබඳව විමර්ශන තමන් වෙත භාර දී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර අධිකරණය වෙත අද දැනුම් දුන්නේ ය. එහිදී ඔහු මේ දක්වා සිදු කළ විමර්ශනවල ප්‍රගතිය දැනුම් දීම ද සිදු කළේ ය.

සාරාංශය

  • විමර්ශන CIDයට භාර දුන් බව ශානි අබේසේකර අධිකරණයට දැනුම් දෙයි
  • බන්ධනාගාරය අවට තත්ත්වය සාමකාමී යි
  • සිදුවීම ගැන අධිකරණයට කරුණු වාර්තා කිරීම අද දිනයේ
  • රෝහල්ගත කළ තවත් රැඳවියෙක් මරුට
  • මරණ සංඛ්‍යාව 27ක් දක්වා ඉහළට. 7ක් නිලධාරීන්, 20ක් රැඳවියන්
  • මීගමුව බන්ධනාගාර රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවේ
  • තුවාල ලබා රෝහල්ගත කර ඇති සංඛ්‍යාවෙන් 65 දෙනෙකු රැඳවියන් වන අතර 23 දෙනෙකු නිලධාරීන්
  • අධිකරණ ඇමති තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් හමුවෙයි
  • සිදුවීම ගැන සෙවීමට කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය

සජීවී වාර්තාකරණය

බීබීසී සිංහල කණ්ඩායම මීගමුව සහ කොළඹ සිට

  1. 'අපේ දරුවෝ කොහේ ඉන්නවා ද දන්නේ නෑ' - රැඳවියෙකුගේ ඥාතියෙක්

    මීගමුව බන්ධනාගාරය අසල තවමත් රැඳවියන්ගේ ඥාතීන් රැස්ව සිටින අතර අප වාර්තාකරු සම්පත් දිසානායකට ඔවුන් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කිරීමට හැකි වුණා.

    එහිදී එක් රැඳවියෙකුගේ ඥාතියෙකු වන ටී.එම්. ඥානතිලක සඳහන් කළේ, බන්ධනාගාරය තුළ සිටින "තම දරුවන් සිටින ස්ථානයක් ගැන තොරතුරක් නොමැති" බවයි.

    "ඊයේ ඉඳලා මේ බන්ධනාගාරේ ගැටුමක් තියෙනවනේ. ඉතින් අපි දන්නේ නෑනේ මොකක් ද මේ හේතුව, ගැටුමක් වෙන්න හේතුවක් තියෙන්න එපැයි. අපි හේතුවක් දන්නෙත් නෑ.

    "අපේ දරුවෝ කොහේ ඉන්නව ද දන්නෙත් නෑ. ඉස්පිරිතාලෙට ගියා ඉස්පිරිතාලේ බලන්න දෙන්නෙත් නෑ, මෙතැනට ආව ම මෙතන බලන්න දෙන්නෙත් නෑ. එක්කෝ ඉන්න කෙනෙක් කියන්න ඕනේ මේ දරුවන්ට මොකුත් වෙලා නෑ කියලා.

    "එක්කෝ නම් ලිස්ට් එකක් දාන්න ඕනේ. එක්කෝ මැරිලා ඉන්න කට්ටියගේ ලිස්ට් එකක් දාන්න ඕනේ, ජීවත් වෙලා ඉන්න අයගේ ලිස්ට් එකක් දාන්න ඕන," ඔහු වැඩිදුරටත් පැවසුවා.

  2. මීගමුව බන්ධනාගාර රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත - බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක

    මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීමට පියවර ගෙන ඇතැයි බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක පවසනවා.

  3. 'අවශ්‍ය නිලධාරී ගාණෙන් 1/4ක් වගේ තමයි මේ හතළිස් දාස් ගාණ ම පාලනය කරන්නේ'

  4. මීගමුව බන්ධනාගාරය ඉදිරිපිට පස්වරු 12:35 වන විට තත්ත්වය

  5. තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහලට

    තුවාල ලැබූවන්ගෙන් පිරිසක් මේ වන විට ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත රැගෙන විත් ඇති බව කොළඹ සිටින අපගේ වාර්තාකරුවන් පවසනවා.

    මේ, එම අවස්ථාවේදී ලබා ගත් ඡායාරූප.

  6. Breaking, තුවාල ලැබූ '100කට අධික පිරිසක්' මීගමුව රෝහලට

    තුවාල ලැබූ 100 දෙනෙකුට අධික පිරිසක් මේ වන විට රෝහල්ගත කර ඇතැයි මීගමුව දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂවරිය බීබීසී සිංහල වෙත පැවසුවා.

    එමෙන් ම, බරපතළ තුවාල ලැබූ ඇතැම් පුද්ගලයින් ප්‍රතිකාර සඳහා වෙනත් රෝහල් වෙත මාරු කිරීමට පියවර ගෙන ඇති බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළා.

    මේ අතර පොලිස් මාධ්‍ය කොට්ඨාසය බීබීසී සිංහල කළ විමසීමකදී පැවසුවේ සිද්ධියෙන් 25 දෙනෙකු මියගොස් ඇති බවයි. කෙසේ වෙතත්, එම ගණන ඊයේ දින මිය ගිය පුද්ගලයින් දෙදෙනා සමග සමස්ථ මිය ගිය ගණන බව මේ දක්වා ප්‍රකාශ කළ නොහැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් පැවසුවා.

  7. Breaking, මිය ගිය ගණන 19ක් දක්වා ඉහළට - මීගමුව රෝහල

    මීගමුව බන්ධනාගාරයේ නොසන්සුන්තාව හේතුවෙන් මේ දක්වා 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මීගමුව දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂවරිය බීබීසී සිංහල වෙත පැවසුවා.

    එම පිරිස අතර නිලධාරීන් තිදෙනෙකු ද සිටින බව ඇය මීට පෙර පැවසුවා.

    ඊයේ ඇති වූ නොසසුන්කාරී තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් දෙනෙකු මියගොස් තිබුණා.

  8. තත්ත්වය නිරීක්ෂණය කිරීමට ගුවන් හමුදාව ඩ්‍රෝන යානා සහ හෙලිකොප්ටරයක් යොදවයි

    මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන් තත්ත්වයට අදාළව තොරතුරු රැස් කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඩ්‍රෝන යානා දෙකක් සහ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයක් යොදා ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් නලින් වැවකුඹුර බීබීසී සිංහල වෙත පැවසුවා.

  9. Breaking, මිය ගිය ගණන 8ක් දක්වා ඉහළට: 50කට අධික පිරිසක් මීගමුව රෝහලට

    මීගමුව බන්ධනාගාරය තුළ අද උදෑසන ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් මේ වන විට 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මීගමුව දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂවරිය බීබීසී සිංහල වෙත පැවසුවා.

    තුවාල ලැබූ 50කට අධික පිරිසක් මේ වන විට රෝහල්ගත කර ඇති අතර තවදුරටත් තුවාලකරුවන් රෝහල්ගත කෙරෙන බව අධ්‍යක්ෂවරිය පැවසුවා.

    මිය ගිය පිරිස අතර නිලධාරීන් තිදෙනෙකු ද සිටින බව ඇය වැඩිදුරටත් සඳහන් කළා.

  10. STF සහ පොලිස් නිලධාරීන් බන්ධනාගාරය තුළට ඇතුළු වූ ආකාරය

  11. Breaking, අද උදෑසන නොසන්සුන්තාවයෙන් 5 දෙනෙක් මරුට: නිලධාරීන් තිදෙනෙකුත් ඒ අතර

    අද උදෑසන මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් අවම වශයෙන් 35කට අධික පිරිසක් රෝහල්ගත කර ඇතැයි මීගමුව දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂවරිය බීබීසී සිංහල වෙත පැවසුවා.

    එමෙන් ම අද උදෑසන ඇති වූ තත්ත්වය හේතුවෙන් 5 දෙනෙකු මියගොස් ඇති අතර ඔවුන් අතරින් තිදෙනෙකු "නිලධාරීන්" බවත්, දෙදෙනෙකු රැඳවියන් බවත් ඇය පැවසුවා.

    මේ වන විටත් තවත් තුවාලකරුවන් රෝහල වෙත රැගෙන එන බව පැවසූ ඇය තවදුරටත් සඳහන් කළේ තුවාල ලැබූවන්ගේ තුවාලවල ස්වභාවය මේ දක්වා නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව ය.

    ඒ අනුව, මෙම සිද්ධියෙන් මිය ගිය මුළු ගණන 7ක් දක්වා ඉහළ යනවා.

  12. Breaking, බන්ධනාගාර රැඳවියන්ගේ ඥාතීන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක්

    බන්ධනාගාර රැඳවියන්ගේ ඥාතීන් "විශාල පිරිසක්" ඒ අසලට පැමිණ සිටින බවත් මේ වන විට ඔවුන් සහ පොලිසි අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බවත් අප වාර්තාකරු පවසනවා.

    ඔහු පැවසුවේ, එම පිරිස බන්ධනාගාරය තුළට එක් පසකින් ඇතුළු වීමට උත්සහ කරන ආකාරය නිරීක්ෂණය වන බව ය.

  13. Breaking, බන්ධනාගාරය තුළට STF සහ පොලිස් නිලධාරීහු ඇතුළු වෙති

    මීට කෙටි වේලාවකට පෙර පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සහ කැරළි මර්දන නිලධාරීන් බන්ධනාගාරය තුළට අතුළු වූ බව අප වාර්තාකරු පැවසුවා.

  14. තුවාල ලැබූ බවට සැකකරන කිහිප දෙනෙකු බන්ධනාගාරයෙන් පිටතට රැගෙන එයි

    තුවාල ලැබූ බවට නිරීක්ෂණය වන බන්ධනාගාර රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකු බන්ධනාගාරයෙන් පිටතට ගෙන යන ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් අප වෙත ලැබී තිබෙනවා.

  15. මීගමුව බන්ධනාගාරයේ නැවතත් නොසන්සුන්තාවක්

    ඉරිදා (ජූලි 5) මීගමුව බන්ධනාගාරය තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිව තිබුණු අතර බලධාරීන් පැවසුවේ එම තත්ත්වය සමථයකට පත්ව තිබුණු බව ය.

    කෙසේ වෙතත්, සඳුදා (ජූලි 6) යළි ඒ තුළ නොසන්සුන්කාරී තත්වයක් ඇතිව තිබුණු අතර එහි සිටින බීබීසී සිංහල වාර්තාකරු පැවසුවේ, බන්ධනාගාරය තුළින් නොනවත්වා වෙඩි ශබ්ද ඇසෙන බවයි.

    තුවාල ලැබූ බවට නිරීක්ෂණය වන බන්ධනාගාර රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකු බන්ධනාගාරයෙන් පිටතට ගෙන යන ආකාරය දක්නට ලැබුණු බව ද ඔහු පැවසුවා.

    මෙම පිටුව ඔස්සේ, සිද්ධිය පිළිබඳව සජීව තොරතුරු අප ඔබ වෙත ගෙන ගෙන එනවා.