ශ්‍රී ලංකාව ඇතුළු විදෙස් රටවල සිට රුසියානු යුද පෙරමුණ දක්වා: රුසියානු යුද්ධයේදී මියගිය විදෙස් වැසියෝ

රුසියා යුද පෙරමුණ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, ඔල්ගා ඉව්ෂිනා
    • Role, බීබීසී
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 7

බීබීසී ඇස්තමේන්තුවලට අනුව, යුක්රේනයේ පූර්ණ පරිමාණ ආක්‍රමණය අතරතුර රුසියාව වෙනුවෙන් සටන් කරමින් සිටියදී අවම වශයෙන් විදේශිකයන් 3,589 දෙනෙකු මිය ගොස් ඇත. ඔවුන් ඉක්වදෝරය සහ ඇමරිකා එක්සත් ජනපදය සිට වියට්නාමය සහ ශ්‍රී ලංකාව දක්වා රටවල් 40කට වැඩි ගණනකින් පැමිණි අය වෙති.

බීබීසී රුසියානු සේවය මීඩියාසෝනා** ප්‍රකාශනය සහ ස්වේච්ඡා සේවකයින් කණ්ඩායමක් සමග එක්ව පවත්වාගෙන යන මියගිය අයගේ නම් ලැයිස්තුවේ දැනට රුසියානු හමුදා නිලධාරීන්ගේ නම් 233,033ක් ඇතුළත් වේ.

මෙයින් 1,285 දෙනෙකු විදේශ රටවල පදිංචිකරුවන් බව, රජයේ වාර්තා, සමාජ මාධ්‍යවල ඥාතීන්ගේ සටහන් හෝ සොහොන් සහ යුද ස්මාරකවල ඡායාරූප මත පදනම්ව අපට තහවුරු කිරීමට හැකි විය.

2024 අගෝස්තු මාසයේදී යුක්රේන සන්නද්ධ හමුදා කර්ස්ක් කලාපය ආක්‍රමණය කිරීමේදී රුසියානු පාර්ශවයේ සටන්වලදී තවත් උතුරු කොරියානු සොල්දාදුවන් 2,304 දෙනෙක් මිය ගියහ. ප්යොංයැංහි මියගිය අය වෙනුවෙන් ඉදිකරන ලද නව යුද ස්මාරකයේ චන්ද්‍රිකා ඡායාරූප සහ නිල ඡායාරූප පරීක්ෂා කිරීමෙන් බීබීසී කොරියානු සේවයට ඔවුන්ගේ සංඛ්‍යාව තහවුරු කර ගැනීමට හැකි විය.

යුක්රේනයේ රුසියාව වෙනුවෙන් සටන් කළ විදේශීය පුරවැසියන්ගේ සැබෑ සංඛ්‍යාව බෙහෙවින් වැඩි වනු ඇත. මෙම ලැයිස්තුව සම්පාදනය කිරීමේදී, අපි යුක්රේන දත්ත හෝ බටහිර බුද්ධි තොරතුරු භාවිත කළේ නැත.

දිවි ගලවා ගත් අය ඇතුළුව රුසියාව පැත්තෙන් සටන් කළ මුළු විදේශිකයන් සංඛ්‍යාව කිහිප ගුණයකින් වැඩි ය.

නේටෝ සංවිධානය ඇස්තමේන්තු කර ඇති පරිදි රටවල් 44කින් පමණ විදේශීය කුලී හේවායන් 24,000ක් පමණ රුසියානු හමුදා සමග සටන් වදින බව නේටෝ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ජූලි මාසයේ අන්කාරාහි පැවති සමුළුවේදී බීබීසී රුසියානු සේවයට පැවසීය. ඔවුන්ගෙන් බහුතරය අප්‍රිකානු රටවලින් පැමිණි අය බව ඔහු පැවසීය.

"බොහෝවිට අප්‍රිකානුවන් සිය ගණනක් ගිවිසුම් අත්සන් කළා. සමහරු ස්වේච්ඡාවෙන්, තවත් සමහරු බලපෑම් යටතේ," ඔහු පැවසීය.

'අපව යුද පෙරමුණට යවමින් සිටිනවා, මා වෙනුවෙන් යාච්ඤා කරන්න'

උගන්ඩාවේ පදිංචි 45 හැවිරිදි එඩ්සන් කම්වෙසිග්යේ, අස්ථාවර කලාපවල බොහෝ වාරයක් සේවය කර ඇත. ඔහු 2000 ගණන්වල ඉරාකයේ සහ ඇෆ්ඝනිස්ථානයේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කළ බව ඔහුගේ බිරිඳ කැරොලයින් මිකුසා වාර්තාකරුවන්ට පැවසුවා ය. කෙසේ වෙතත්, ඔහුට සටන් අත්දැකීම් නොමැති බව ඇය අවධාරණය කරයි.

උගන්ඩා ගුවන් විදුලි ජාලයට අනුව, 2004 සිට 2021 දක්වා උගන්ඩා ජාතිකයින් 30,000කට වැඩි පිරිසක් ඉරාකයේ ඇමෙරිකානු පහසුකම්වල ආරක්ෂකයින් ලෙස සේවය කළහ. නමුත් 2021දී ඉරාකයෙන් සහ ඇෆ්ඝනිස්ථානයෙන් ඇමෙරිකානු හමුදා ඉවත් කර ගැනීමෙන් පසු, විදේශයන්හි ඉහළ වැටුප් කොන්ත්‍රාත් අවසන් වූ අතර, එඩ්සන් නැවත නිවසට පැමිණියේ ය.

උගන්ඩාවේ, එඩ්සන් කුලී රථ රියැදුරෙකු ලෙස සේවය කළ අතර ගොවිතැන් කිරීමට ද උත්සහ කළ නමුත් ඔහු උපයා ගත් මුදල් ඔහුගේ පවුල සහ දරුවන් දෙදෙනා නඩත්තු කිරීමට ප්‍රමාණවත් වූයේ යන්තමිනි.
ඡායාරූප ශීර්ෂ වැකිය, උගන්ඩාවේ, එඩ්සන් කුලී රථ රියැදුරෙකු ලෙස සේවය කළ අතර ගොවිතැන් කිරීමට ද උත්සහ කළ නමුත් ඔහු උපයා ගත් මුදල් ඔහුගේ පවුල සහ දරුවන් දෙදෙනා නඩත්තු කිරීමට ප්‍රමාණවත් වූයේ යන්තමිනි.
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

උගන්ඩාවේ, එඩ්සන් කුලී රථ රියැදුරෙකු ලෙස සේවය කළ අතර ගොවිතැන් කිරීමට ද උත්සහ කළ නමුත් ඔහු උපයා ගත් මුදල් ඔහුගේ පවුල සහ දරුවන් දෙදෙනා නඩත්තු කිරීමට ප්‍රමාණවත් වූයේ, යන්තමිනි.

2025 දෙසැම්බර් මාසයේදී, එඩ්සන් තම බිරිඳට රුසියාවේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කිරීමට යන බව පැවසීය. නමුත් භූමියේ දේවල් වෙනස් ආකාරයකින් සිදු විය. ජනවාරි 16 වන දින, එඩ්සන් තම බිරිඳ අමතා තමන් යුද පෙරමුණට යන බව නිවේදනය කළේ ය.

"ඔහු හමුදා පුහුණුව ලබමින් සිටි නිසාත් ඉක්මනින් ම යුද පෙරමුණට යවන නිසාත් තමන් වෙනුවෙන් යාච්ඤා කරන ලෙස ඔහු ඉල්ලා සිටියා," මිකුසා ජර්මානු ප්‍රකාශනයක් වන ටාස්හි මාධ්‍යවේදීන්ට පැවසීය. සතියකට පසු, යුක්රේනයේ කාර්කිව් කලාපයේ කුපියන්ස්ක් අසල එඩ්සන් මිය ගියේ ය.

කම්වෙසිග්යේගේ බිරිඳ තවමත් තම සැමියාගේ දේහය නිවසට ගෙන ඒමට බලාපොරොත්තුවෙන් සිටින නමුත් බලධාරීන් එසේ කිරීම ප්‍රතික්ෂේප කර ඇත. ප්‍රාදේශීය මාධ්‍යවලට අනුව, 2026 ජූනි මාසය වන විට යුක්රේනයේ රුසියානු හමුදා සමග සටන් කරමින් සිටියදී තවත් උගන්ඩා ජාතිකයන් දෙදෙනෙකු මිය ගොස් තිබිණි. ඔවුන්ගේ සිරුරු ද තවමත් නිවසට ලබා දී නොමැත.

සමස්තයක් වශයෙන්, මියගිය පුද්ගලයින්ගේ නම් ලැයිස්තුවට අප්‍රිකානු රටවල් 7ක පුද්ගලයෝ ඇතුළත් වෙති.

සිරකරුවන්, පීඩනයට ලක්වන සංක්‍රමණිකයන් සහ ස්වේච්ඡා සේවකයින්

මියගිය විදේශිකයන්ගේ ජීවිත කතා සහ භූගෝල විද්‍යාව විශ්ලේෂණය කිරීමෙන්, රුසියානු හමුදා ව්‍යුහයන්ට ඔවුන් බඳවා ගැනීමේ ප්‍රධාන අදියර තුනක් අපට හඳුනාගත හැකි ය.

2022 මැද භාගයේ සිට 2023 අවසානය දක්වා, රුසියාව වෙනුවෙන් සටන් කරන විදේශිකයින්ගෙන් බහුතරය බන්ධනාගාර ජනපදවලින් බඳවා ගත් සිරකරුවෝ වූහ. මාස හයක හෝ දොළහක සටන් සේවයක් සඳහා ඔවුන්ට බන්ධනාගාරයෙන් නිදහස් වීමට අවස්ථාව ලැබිණි. බඳවා ගැනීම මුලින් සිදු කරන ලද්දේ වැග්නර් පීඑම්සී විසින් වන අතර පසුව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසිනි.

මෙම යෝජනා ක්‍රමය ප්‍රධාන වශයෙන් බලපෑවේ පැරණි සෝවියට් රටවල පුරවැසියන්ට, විශේෂයෙන් මධ්‍යම ආසියාවේ පුරවැසියන්ට ය. නිදසුනක් වශයෙන්, තජිකිස්තානයේ සහ උස්බෙකිස්තානයේ මියගිය පුරවැසියන්ගෙන් අඩකට වඩා රුසියානු බන්ධනාගාරවලින් පෙරමුණට යවන ලැබූවන් ය.

විදේශිකයන් බඳවා ගැනීමේ දෙවන කොන්දේසි සහිත අදියර 2024 සිට 2025 මැද භාගය දක්වා ක්‍රියාත්මක විය.

2024 මුල් භාගයේදී, ආරක්ෂක අමාත්‍යාංශය සමග නව ගිවිසුම් අත්සන් කිරීම සඳහා රුසියානු බලධාරීන් ගෙවීම් සැලකිය යුතු ලෙස වැඩි කළහ. මේ කාලය වන විට, කියුබාව, නේපාලය, ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ යේමනය යන පුළුල් පරාසයක විදේශ රටවලින් ක්‍රියාකාරී බඳවා ගැනීම් ආරම්භ විය.

බොහෝ දෙනෙක් ඉහළ වැටුප් ගැන උනන්දු වූහ. ඇතැම්හු හමුදාවට බඳවා ගන්නා බව දැන දැන ම ස්වේච්ඡාවෙන් ගිවිසුම් අත්සන් කළහ. තවත් සමහරු රුසියාවට ගියේ ඉගෙනීමට හෝ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩ කිරීමේ අපේක්ෂාවෙන් වුව ද, රැවටීම්වලට ලක්වූ ඔවුන්ට අවසානයේ යුද පෙරමුණට යාමට සිදුවිය.

2025 මැද භාගයේ සිට, මානව හිමිකම් ක්‍රියාකාරීන් පැරණි සෝවියට් රටවලින් රුසියාවට පැමිණෙන සංක්‍රමණික සේවකයින් පීඩන මාලාවකට මුහුණ දී ඇතැයි නිරීක්ෂණය කර ඇත. පොරොන්දු වෙනුවට යුද්ධයට සහභාගී වීමට ඔවුන්ට බලපෑම් එල්ල වෙමින් පවතී, උදාහරණයක් ලෙස, ඇතුළුවීමේ තහනම් ඉවත් කිරීම, පුරවැසිභාවය කඩිනම් කිරීම හෝ පිටුවහල් කිරීම් ආපසු හැරවීම ආදී ප්‍රතිලාභ හරහා බලපෑම් එල්ල වේ.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සමග ගිවිසුම් අත්සන් කරන ලෙස සංක්‍රමණිකයින්ට තර්ජනය කළ අවස්ථා ගණනාවක් නීතිඥයින් ලේඛනගත කර ඇත.

ජාත්‍යන්තර මානව හිමිකම් සම්මේලනයේ වාර්තාවකට සහ රොයිටර් විමර්ශන සටහනකට අනුව, අඩු ආදායම්ලාභී අප්‍රිකානු රටවල වෙසෙන්නන් සටන් සඳහා බඳවා ගැනීමේ උත්සහයන් මෑතකදී තීව්‍ර වී තිබේ.

විදේශිකයින්ගේ මරණ සංඛ්‍යාව අතින් උතුරු කොරියාව ලොව ඉදිරියෙන් ම සිටී. කෙසේ වෙතත්, අනෙකුත් සියලු ම විදේශිකයන් මෙන් නොව, ඔවුන් රුසියාව සහ උතුරු කොරියාව අතර නිල ගිවිසුමක් යටතේ විවෘතව යුද්ධයට සහභාගී වූහ. ඔවුන් පිළිබඳ තොරතුරු සීමිත ය, නමුත් අපි මෙහි නිරීක්ෂණය කළ සියලු දේ ඉදිරිපත් කර ඇත්තෙමු.

අපගේ මරණ සංඛ්‍යාවට රුසියානු හමුදාවන්හි කොටසක් ලෙස ඉදිරි පෙළේ මියගිය යුක්රේන පුරවැසියන් 25 දෙනෙක් ද ඇතුළත් වෙති. ඔවුන් පූර්ණ පරිමාණ යුද්ධයේ ආරම්භයේදී යුක්රේන පාලිත ප්‍රදේශවල ලියාපදිංචි වූවන් ය.

ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අපරාධ සම්බන්ධ දඬුවම් ලැබූවන් රඳවා සිටින ජනපදවලින් යුද්ධයට බඳවා ගනු ලැබූහ. රුසියානු පැත්තෙන් සටන් කරන යුක්රේනයේ ක්‍රිමියාව, ඩොනෙට්ස්ක්, ලුහාන්ස්ක්, කෙර්සන් සහ සැපෝරිෂියා ඔබ්ලාස්ට්හි පදිංචිකරුවන් වෙන වෙන ම ගණන් ගනු ලැබේ; ඔවුන්ගෙන් මිය ගිය පුද්ගලයින් මෙම සාරාංශයෙන් පිළිබිඹු නොවේ.

සමස්ත චිත්‍රය දෙස බලන විට, විදේශිකයන් තවමත් රුසියානු තුවාලකරුවන්ගෙන් සුළු කොටසක් පමණක් බව සැලකිල්ලට ගැනීම වැදගත් ය. මියගිය රුසියානු හමුදා නිලධාරීන් 233,000න්, අපට හඳුනාගත හැකි නම්වලින්, විදේශීය ජාතිකයන් (උතුරු කොරියානු හමුදා නිලධාරීන් ඇතුළුව) 2%ට වඩා අඩු ය.

මේ අනුව, විදේශ බඳවා ගැනීම් මගින් රුසියාවේ හමුදා ශක්තිමත් කිරීමේ ප්‍රධාන මූලාශ්‍රය වන රුසියානු පුරවැසියන් ප්‍රතිස්ථාපනය කළ නොහැක. කෙසේ වෙතත්, ඉහළ මරණ සංඛ්‍යාව සහ ස්වේච්ඡාවෙන් ගිවිසුම් අත්සන් කිරීමට කැමති රුසියානුවන් සංඛ්‍යාව ක්‍රමයෙන් පහත වැටීම සැලකිල්ලට ගෙන, ඉදිරි පෙළ පවත්වා ගැනීම සඳහා ක්‍රෙම්ලීනයට වෙනත් බඳවා ගැනීමේ ක්‍රම සෙවීමට සිදුවනු ඇත.

අපි මියගිය හමුදා නිලධාරීන් පිළිබඳ දත්ත රැස් කිරීම දිගට ම කරගෙන යන අතර සෑම සති දෙකකට වරක් නව සංඛ්‍යා ලේඛන ප්‍රකාශයට පත් කරන්නෙමු. මෙම මාතෘකාව පිළිබඳ තොරතුරු බෙදා ගැනීමට ඔබ කැමති නම්, කරුණාකර bbcrussian@bbc.co.uk වෙත ඊමේල් පණිවුඩයක් එවන්න.

සහය: එලිසවෙටා ෆොච්

ග්‍රැෆික් නිර්මාණ: යාරොස්ලාවා කිරියුඛිනා

සිතුවම්: නටාලියා මාකා

*රුසියානු බලධාරීන් ඔල්ගා ඉව්ෂිනා සහ එලිසවෙටා ෆොච් "විදේශීය නියෝජිතයන්ගේ" ලේඛනයට ඇතුළත් කර ඇත. බීබීසී මෙම තීරණයට දැඩි ලෙස විරුද්ධ වන අතර එය අධිකරණයේදී අභියෝගයට ලක් කරයි.

අප ගණන් කරන ආකාරය

රුසියාවේ, මියගිය පුද්ගලයින්ගේ නම් සහ ඔවුන්ගේ අවමංගල්‍ය උත්සවවල ඡායාරූප දිනපතා ප්‍රකාශයට පත් කෙරේ. බොහෝවිට, නම් ප්‍රකාශයට පත් කරනු ලබන්නේ, රුසියානු කලාපවල ප්‍රධානීන් හෝ දිස්ත්‍රික් පරිපාලන නියෝජිතයින්, ප්‍රාදේශීය මාධ්‍ය ආයතන සහ වින්දිතයින් කලින් අධ්‍යාපනය ලැබූ අධ්‍යාපන ආයතන මෙන් ම ඔවුන්ගේ ඥාතීන් විසිනි.

බීබීසී, මීඩියාසෝනා** සහ ස්වේච්ඡා සේවකයින් කණ්ඩායමක් මෙම දත්ත අධ්‍යයනය කරමින් සිටින අතර රුසියාව යුක්රේනයට පූර්ණ පරිමාණයෙන් ආක්‍රමණය කිරීමේ ආරම්භයේ සිට අප පවත්වාගෙන යන ලැයිස්තුවට එය එකතු කරමින් සිටී.

රුසියානු නිල මූලාශ්‍රයක හෝ මාධ්‍ය ආයතනයක ප්‍රකාශනය, ඥාතීන් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීම හෝ වෙනත් මූලාශ්‍රවල පළ කිරීම්, භූමදානයේ ඡායාරූප තිබේ නම්, මරණය තහවුරු කිරීමක් ලෙස අපි සලකමු.

මියගිය අයගේ සේවා ස්ථානය පිළිබඳ වාර්තා මත පදනම්ව හෝ ඔවුන්ගේ නිල ඇඳුමේ ලාංඡනය මත පදනම්ව අපි සේවා ශාඛාව තීරණය කළෙමු. බලමුළු ගැන්වූ පිරිස්, ස්වේච්ඡා සේවකයන් සහ සිරකරුවන් වෙන ම සේවා ශාඛා ලෙස නොසැලකේ, නමුත් නිත්‍ය හමුදාවේ වෘත්තීය (කොන්ත්‍රාත්) ඒකකවල මිය ගිය පුද්ගලයින් සමග සංසන්දනය කිරීම සඳහා අපි මෙම මිය ගිය පුද්ගලයින් වෙන ම කාණ්ඩයකට වෙන් කරමු.

ප්‍රධාන ගණනය කිරීම 2023 දක්වා ඩොන්බාස්හි ස්වයං-ප්‍රකාශිත "ජනරජවලින්" සිදුවන මරණ ඇතුළත් නොවේ. 2023 ජනවාරි මාසයේ සිට, "ඩීපීආර් මහජන මිලිෂියා" ඒකක රුසියානු හමුදාවට ඇතුළත් කර ඇති බැවින්, අපි ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් ප්‍රදේශවලින් මියගිය අය රුසියානු ඒකකවල සටන් කළ විදේශිකයන් ලෙස ගණන් ගනිමු.