ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කපිල චන්ද්‍රසේනගේ දුරකථනය ගැන සිදුකරන විමර්ශන පිළිබඳව විනිසුරුගෙන් විවෘත අධිකරණයේදී ප්‍රකාශයක්
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථනය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන පිළිබඳව තමාට සෑහීමකට පත්විය නොහැකි බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (ජූලි 22) විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේය.
ඒ, මෙම විමර්ශනයට අදාළ නඩු කටයුත්ත කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැදවනු ලැබු අවස්ථාවේදීය.
එහිදී විමර්ශන සිදු කරන කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දන්වා සිටියේ මරණකරු මිය ගොස් සිටි ස්ථානයේ තිබී සොයාගත් නාඳුනන ඖෂධ ඇතුළු ද්‍රව්‍ය සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක වාර්තා මෙතෙක් ලැබී නොමැති බවයි. ඊට අමතරව මරණකරුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා ද මෙතෙක් ලැබී නොමැති බව ද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
මෙහිදී මහේස්ත්‍රත්වරයා පොලිසිය වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මරණකරුගේ ජංගම දුරකථනය සම්බන්ධයෙන් මේ දක්වා සිදු කර තිබෙන විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව විමසා සිටියේය.
ඊට පිළිතුරු දෙමින් පොලිසිය පැවසුවේ එය විදේශීය ආයතන වෙත යොමු කර විමර්ශනවලට අවශ්‍ය කටයුතු සිදුකිරීමට පියවර ගෙන ඇති බවයි.
එහිදී මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ කරණු දක්වමින් "සිද්ධිය වෙලා සති දෙකකින් කිව්වෙත් ඔය කතාවමනේ. මේ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන කරන්න. මේ සම්බන්ධයෙන් කරන විමර්ශන ගැන මට සෑහීමකට පත්වෙන්න බැහැ" යනුවෙන් කියා සිටියේය.
ඉන් අනතුරුව මෙම සිද්ධියට සම්බන්ධ රජයේ රස පරීක්ෂක වාර්තා සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරන ලෙස දන්වා නැවත සිහිකැදවීම් නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා මෙම කටයුතුවල ප්‍රගතිය අගෝස්තු මස 19 වනදා ඉදිරිපත් කරන ලෙස ද නියම කළේය.
මෙම අවස්ථාවේදී කපිල චන්ද්‍රසේන මියගොස් සිටි නිවසේ හිමිකරු වූ අරවින්ද ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නලින් ලද්දුවහෙට්ටි අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නිවසේ කාමරයක් මුද්‍රා තබා තිබෙන බවත්, එය විවෘත කිරීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.
එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ තම අධිකරණය විසින් එවැනි නියෝගයක් නිකුත් කර නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් පොලිසිය සමඟ සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.