AI නිසා රැකියා අහිමි වීමේ අභියෝගයට එරෙහිව විදුලි මෙවලම් අතට ගත් කාන්තාවෝ

    • Author, සිල්වියා චැං
    • Role, බීබීසී චීන සේවය
    • වාර්තාකරණය, හොං කොං
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 8

කෘත්‍රිම බුද්ධිය (AI) තාක්ෂණික කර්මාන්තය වේගයෙන් ආක්‍රමණය කර, ඇලිස් හුවාං වැනි පරිගණක වැඩසටහන් නිර්මාණකරුවන්ගේ (programmers) රැකියා තවදුරටත් අවශ්‍ය නොවන බවට පත් කිරීමත් සමග ඇය විකල්පයක් ලෙස සාම්ප්‍රදායික මාර්ගයක් තෝරාගත්තා ය. පරිගණක යතුරු පුවරුව වෙනුවට කාර්මික විදුලි මෙවලම් තෝරා ගත් ඇය, 'Qiangqiang Women Workers' නමින් කාන්තාවන්ගෙන් පමණක් සමන්විත නිවාස අලුත්වැඩියා සේවාවක් පසුගිය මැයි මාසයේදී ආරම්භ කළා ය.

දකුණු චීනයේ කාර්යාල සංකීර්ණයක වසර 15ක් සේවය කරමින් කළමනාකාරීත්ව තනතුරක් දක්වා පැමිණි හුවාං, අද එම කාර්යාල ජීවිතය වෙනුවට දූවිලි වැකුණු ඕවරෝල් ඇඳුම් ඇඳ (overalls), දැඩි උණුසුම මැද තම මෙවලම් පෙට්ටිය ද රැගෙන එක් මහල් නිවාසයකින් තවත් මහල් නිවාසයකට යමින් අලුත්වැඩියා සේවා සපයන්නී ය.

"විශ්‍රාම යනකල් ම ටෙක් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න පුළුවන් වේවි කියලා මම හැම වෙලාවේ ම වගේ හිතුවා. ඒත් සේවකයින් ඉවත් කිරීම ආරම්භ වුණා ම, ඒක නිකම් සීතල වතුර බාල්දියක් මගේ ඔළුවට හැළුවා වගේ දැනුණා," ඇය බීබීසී චීන සේවය වෙත පැවසුවා ය.

දහඩිය වගුරුවමින් සහ දැඩි වෙහෙසින් චීනය ආර්ථික බලවතෙකු බවට පත් කළ පරම්පරාවකට අයත් ඇගේ පවුලේ වැඩිහිටි ඥාතීන්ට, ඇයගේ මෙම වෘත්තීය මාරුව තේරුම් ගැනීමට අපහසු විය. ශාරීරික ශ්‍රමය මත යැපෙන ජීවිතයකින් මිදීම සඳහා හොඳින් අධ්‍යාපනය ලැබිය යුතු බව ඔවුන් නිතර ම ඇයට අවවාද කර තිබිණි.

එහෙත්, විශ්වවිද්‍යාල අධ්‍යාපනය පවා ලබා සිටි 40 හැවිරිදි හුවාංට, කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ වේගවත් දියුණුව හමුවේ තමන් ඇතුළු සගයන් රැසකගේ රැකියා අහිමි වී ඇති බව වැටහිණි.

Citibank විසින් අප්‍රේල් මාසයේදී ඇස්තමේන්තු කරනු ලැබ තිබුණේ, චීනයේ සියලු ම රැකියාවලින් 9.6%ක්, එනම් ආසන්න වශයෙන් මිලියන 70ක්, කෘත්‍රිම බුද්ධිය මගින් ප්‍රතිස්ථාපනය වීමේ අවදානමකට ලක්ව ඇති බව ය.

ගෝලීය වශයෙන් තාක්ෂණික ක්ෂේත්‍රයේ ශ්‍රම බළකාය තුළ කාන්තාවන් නියෝජනය කරන්නේ සුළුතරයකි. එහෙත් 'WomenTech Network' සංවිධානය පවසන පරිදි, ජ්‍යෙෂ්ඨ මට්ටමේ තනතුරුවල කාන්තාවන්ගේ නියෝජනය අඩුවීම සහ ඔවුන් තාක්ෂණික නොවන තනතුරුවල වැඩි වශයෙන් නිරත වීම හේතුවෙන්, කාන්තාවන් රැකියා කප්පාදුවලට ලක්වීමේ ඉඩකඩ පිරිමින්ට වඩා 1.6 ගුණයකින් වැඩි ය.

එක් රැයකින් මෙන්, ඇය රැකියාව කළ සමස්ත අංශය ම අතුරුදන් විය. මන්ද, මීට පෙර කණ්ඩායම් කිහිපයක් එක්ව සිදු කළ කාර්යයන් තත්පර කිහිපයකින් ඉටු කිරීමට කෘත්‍රිම බුද්ධියට හැකි වූ බැවිනි.

"තාක්ෂණික සංවර්ධනයේ වේගය ඉතා ඉහළ යි. ප්‍රතිව්‍යුහගත කිරීම් සෑම තැනක ම සිදුවුණා. සමහර විට ඔබට ඉතිරි වන්නේ ඉවත් වීම විතර යි," ඇය පැවසුවා ය.

කෘත්‍රිම බුද්ධිය හේතුවෙන් පහසුවෙන් අහිමි නොවන රැකියාවක් සොයමින් විකල්ප සෙවූ හුවාං, අවසානයේ තම පවුල දිගු කලක් නිරත වූ ඉදිකිරීම් හා නිවාස අලුත්වැඩියා ක්ෂේත්‍රයට යළි පිවිසීමට තීරණය කළා ය.

"එයාලා වැඩ කරන හැටි මම පොඩි කාලේ ඉඳලා ම දැකලා තිබුණ නිසා, මේ ක්ෂේත්‍රයේ සාර්ථක වෙන්න මටත් පුළුවන් වේවි කියලා මම විශ්වාස කළා. ඔවුන් කරපු හැම දෙයක් ගැන ම මට හොඳ වැටහීමක් තිබුණා."

අවිවාහක කාන්තාවන් කේන්ද්‍ර කර ගත් ආර්ථිකය

මෙවැනි වෘත්තීය මාරුවක් සිදු කළේ ඇය පමණක් නොවේ. පසුගිය වසර දෙකක කාලය තුළ ෂැංහයි, ෂෙන්ජෙන් සහ සුජෝ වැනි නගරවල කාන්තාවන් රැසක් කාර්යාල රැකියා අතහැර, වායු සමීකරණ යන්ත්‍ර නඩත්තු කිරීම, වැසිකිළි උපාංග සවි කිරීම, බිත්තිවල තීන්ත ඉවත් කිරීම සහ නාන කාමරවල ටයිල් ඇල්ලීම වැනි වෘත්තීන් වෙත යොමුවී ඇත.

"අපේ කණ්ඩායමේ එක් කෙනෙක් සංගීත ගුරුවරියක්. තවත් කිහිප දෙනෙක් කාර්යාල රැකියාවල නිරත වුණු අය. සමහරු මාධ්‍ය ක්ෂේත්‍රයේ සේවය කළ අය," යැයි ෂෙන්ජෙන්හි 'Zhenji Women Workers' කණ්ඩායමේ සාමාජිකාවන් ගැන ලියු මෙන්ග්යුවාන් පැවසුවා ය.

විදුලි සංදේශ ක්ෂේත්‍රයේ වසර දහයකට ආසන්න අත්දැකීම් ලබා තිබූ ලියු, "ප්‍රායෝගික වෘත්තීය කුසලතාවක් අත්කර ගැනීමේ අරමුණින්" 2023 වසරේදී තම රැකියාවෙන් ඉවත් වූවා ය.

"යම් වෘත්තීය කුසලතාවක් තිබීමෙන් මට ස්වාධීනව ජීවත් වීමට හැකි වෙනවා. ඒ වගේ ම අනෙක් කාන්තාවන්ටත් උපකාර කිරීමට මට අවශ්‍ය යි," යැයි ඇය පැවසුවා ය.

"අලුත්වැඩියා කටයුතු සිදු කරන පිරිමින්" බහුලව සිටින ක්ෂේත්‍රයක, කාන්තා අලුත්වැඩියා සේවිකාවන්ට තවත් වේගයෙන් වර්ධනය වන කණ්ඩායමක් වන තනිව ජීවත් වන කාන්තාවන්ගෙන් (single women) විශාල ඉල්ලුමක් ඇති බව පෙනී ගොස් තිබේ.

ලියු පවසන්නේ, ඇයගේ සේවා ලබා ගන්නා පාරිභෝගිකයන්ගෙන් 98%ක් ම කාන්තාවන් බව ය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තනිව ජීවත් වන අතර, ඇතැමුන් වෙනත් කාන්තාවන් සමග මහල් නිවාසවල පදිංචිව සිටිති.

සේවාවක් ලබා ගැනීම සඳහා ඔවුන් විමසන විට, සාමාන්‍යයෙන් මුලින් ම අසන්නේ ගාස්තුව කොපමණ ද? යන්න නොවේ.

"හැමෝම වගේ අහන්නේ: 'එන්නේ කාන්තා කාර්මික ශිල්පිනියක් ද?' කියල යි. ඒ අනිවාර්යයෙන් ම කාන්තාවක් බව ඔවුන් තහවුරු කරගන්න කැමති යි," යැයි ලියු පැවසුවා ය. "ඔවුන්ගේ ප්‍රධාන ම අවධානය යොමුවන්නේ ආරක්ෂාව ගැන යි. අපට ඒ ගැන අවබෝධයක් තිබෙනවා."

නිල සංඛ්‍යා ලේඛන අනුව, 2021 වසරේදී චීනයේ තනිව ජීවත් වන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මිලියන 240ක් පමණ වූ අතර, එය එරට ජනගහනයෙන් 17%කට සමාන විය. දේපළ වෙළෙඳ ගනුදෙනු වේදිකාවක් වන Beikeහි අධ්‍යයනයකට අනුව, 2030 වන විට චීනයේ නිවාසවලින් 30%ක් පමණ තනි පුද්ගලයන් පදිංචිව සිටින නිවාස බවට පත්වනු ඇතැයි පුරෝකථනය කර තිබේ.

මෙම වෙනසට බලපෑ ප්‍රධාන කරුණක් වූයේ, උසස් අධ්‍යාපනය ලැබූ නාගරික කාන්තාවන් විවාහය කල් දැමීමේ ප්‍රවණතාව යි. කලක් "sheng nu" හෙවත් "ඉතිරි වූ කාන්තාවන්" ලෙස අවඥාවට ලක් කළ බොහෝ දෙනෙක්, සමාජයෙන් සහ රජයෙන් විවාහ වී දරුවන් බිහි කරන ලෙස එල්ල වන පීඩනය නොතකා, තනිව ජීවත් වීමට තෝරා ගනිමින් සිටිති.

වර්ධනය වෙමින් පවතින මෙම පාරිභෝගික පදනමට ගැළපෙන පරිදි, ස්ත්‍රී පුරුෂභාවය පදනම් කර ගත් විවිධ සේවාවන් ද ව්‍යාප්ත වී තිබේ. ඒ සමග ම, ව්‍යවසායක කාන්තාවෝ සාම්ප්‍රදායිකව පිරිමින් ආධිපත්‍යය දැරූ වෘත්තීන් වන ප්‍රවාහන සේවා (ride-hailing), ආහාර බෙදාහැරීම සහ වැඩි වැඩියෙන් නිවාස අලුත්වැඩියා හා ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍ර වෙත ද පිවිසෙමින් සිටිති.

මිචිගන් විශ්වවිද්‍යාලයේ චීනය පිළිබඳ විශේෂඥ සමාජ විද්‍යාඥවරියක වන ජෝ යන් පැවසුවේ, තනිව ජීවත් වන කාන්තාවන් කේන්ද්‍ර කර ගත් ආර්ථිකය ඔවුන් අතර එකිනෙකාට සහය වන, සවිබල ගැන්වීමේ සබඳතාවක් ඇති කිරීමට උපකාරී වුව ද, එය වඩාත් ගැඹුරු සමාජයීය අනාරක්ෂිතභාවයන්ගෙන් ද මතු වන තත්ත්වයක් බව ය. කාන්තාවන්ට තම ශාරීරික ආරක්ෂාව පිළිබඳ පූර්ණ විශ්වාසයකින් කටයුතු කළ නොහැකි වීම ඊට එක් හේතුවකි.

සුජෝහි කාන්තාවන්ගෙන් පමණක් සමන්විත අලුත්වැඩියා කණ්ඩායමක සේවාව ලබා ගත් පාරිභෝගිකාවක බීබීසීය වෙත පැවසුවේ, කාන්තා කාර්මික ශිල්පිනියන් තෝරා ගැනීමට එක් හේතුවක් වූයේ ඔවුන් පිළිබඳව තමන්ට වඩාත් පහසුවක් සහ විශ්වාසයක් තිබීම බව ය.

"ඔවුන් නිදන කාමරයේ වැඩ කරද්දී, මට බයක් නැතිව සාලයේ ඉඳන් මගේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්," ඇය පැවසුවා ය.

ඇය පැවසුවේ, ගෘහ භාණ්ඩ අපිරිසිදු වීම වැළැක්වීම සඳහා ඔවුන් ඒවා කල්තියා ආවරණය කළ බවත්, කාර්යය අවසන් කළ පසු ඒවා තිබූ ස්ථානයේ ම තැබූ බවත්, බිම පිරිසිදු කළ බවත් තමන් දුටු බව ය.

"වැදගත් ම දේ විදුලි බල්බය නැවත දැමීම විතරක් නෙවෙයි. ඒ වෙනුවට නොසැලකිලිමත් ලෙස හෝ නිකම් ම නිකම් වැඩක් ලෙස සලකන බව මට තවදුරටත් නොදැනීම යි," ඇය පැවසුවා ය.

ලිංගික පක්ෂපාතීත්වය, අපවාද සහ ඒකාකෘති

තම සේවාව ආරම්භ කිරීමෙන් ටික කලකට පසු, හුවාං පුදුමයට පත් වූයේ ලැබුණු ඉල්ලුමේ ප්‍රමාණය මෙන් ම, පාරිභෝගිකයන් ඉදිරිපත් කළ ඉල්ලීම්වල පුළුල් ස්වභාවය පිළිබඳව ය.

"පාරිභෝගිකයෙක් මෙහෙම කියන්න පුළුවන්: 'මම ව්‍යාපාර සංචාරයකට යනවා. මගේ ගෙදර පූසෙක් ඉන්නවා. ඔබේ කාන්තා සේවිකාවකගෙන් කෙනෙක් ඇවිත් ඌව බලාගන්න උදව් කරන්න පුළුවන් ද?' එහෙම නැත්නම් 'මගේ අම්මා වයස යි. මම වැඩ නිසා කාර්යබහුල යි. එයාව තනිව දාලා යන්න මට අමාරු යි. කෙනෙක් ඇවිත් උදව් කරන්න පුළුවන් ද?" යැයි ඇය පැවසුවා ය.

"එතකොට අපිට තේරුණ දේ තමයි කාන්තාවන්ගෙන් පමණක් සමන්විත කණ්ඩායමකට අපි මුලින් හිතුවට වඩා බොහෝ ආකාරවලින් මිනිසුන්ට උපකාර කරන්න පුළුවන් කියන එක."

කාන්තාවන්ගෙන් පමණක් සමන්විත අලුත්වැඩියා කණ්ඩායම්වල සාමාජිකාවන් මුලින් එක්වූයේ තම ප්‍රායෝගික කුසලතාවලින් ආදායමක් උපයා ගැනීමේ අවස්ථාවක් ලෙස විය හැකි වුව ද, ඔවුන්ගෙන් කිහිප දෙනෙකු පැවසුවේ කාන්තා පාරිභෝගිකයන් සමග ගොඩනගාගත් විශ්වාසය සහ සමීප සබඳතාව නිසා මෙම කාර්යයට යම් අරමුණක් සහ වගකීමක් ඇති වූ බව ය.

එහෙත්, ස්ත්‍රී පුරුෂ භේදය, සමාජ අපවාද සහ ඒකාකෘති අදහස් සමග සටන් කරමින් තම හැකියාව ඔප්පු කිරීමට ඔවුන්ට අමතර උත්සහයක් දැරීමට සිදුව තිබේ.

"ප්‍රවීණ" අලුත්වැඩියා කාර්මිකයන් කාන්තාවන් ආධුනිකයින් ලෙස භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති අවස්ථා තිබේ. ඔවුන්ගේ හැකියාව සහ මෙම වෘත්තියට ඇති කැපවීම පිළිබඳ සැකය ඊට හේතුව යි. ඒ නිසා බොහෝ කාන්තා කණ්ඩායම් තනිව ඉගෙන ගනිමින් මෙම කුසලතා වර්ධනය කරගෙන ඇත.

එක් අවස්ථාවක, ලියුගේ Zhenji Women Workers කණ්ඩායමේ ශාරීරිකව කුඩා ප්‍රමාණයේ කාන්තා කාර්මික ශිල්පිනියන් දෙදෙනෙක් වායු සමීකරණ යන්ත්‍ර පිරිසිදු කිරීමේ කාර්යයක් භාර ගත්හ. ඒවා ගලවා පිරිසිදු කිරීම බලාපොරොත්තු වූවාට වඩා වැඩි කාලයක් ගත වූ විට, පාරිභෝගිකයාගේ දෙමාපියෝ ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට පටන් ගත්හ. "මේ අය ඇත්තට ම මේක කරන්න දන්නවා ද? මෙයාලා ඇත්ත වෘත්තිකයන් ද?" යනුවෙන් ඔවුහු විමසූහ.

පැය කිහිපයකට පසු, කාර්යය අවසන් වූ විට, එම පවුලේ ආකල්පය සම්පූර්ණයෙන් ම වෙනස් විය. වයෝවෘද්ධ පියා පවා ඔවුන් කළ කාර්යය අගය කළේ ය. "කාන්තාවන් ඒවා වඩාත් හොඳින් පිරිසිදු කළා. මම ඊළඟ වතාවේත් ඔයාලට කතා කරන්නම්," ඔහු පැවසීය.

තම වෘත්තීය වෙනස පිළිබඳව තම වයෝවෘද්ධ දෙමාපියන් කෙසේ ප්‍රතිචාර දක්වනු ඇත්දැයි ලියු දැඩි ලෙස කණස්සල්ලට පත්ව සිටියා ය. ඒ ගැන ඔවුන්ට පැවසීමට ඇය මාස කිහිපයක් බලා සිටියා ය.

"මුලදී ඔවුන්ට මං ගැන කනගාටු හිතුණා. මේ රැකියාව අමාරු එකක් බවත්, දවස පුරා පිටත වැඩ කිරීමටත්, ෂෙන්ජෙන් නගරය පුරා උපකරණ රැගෙන යාමටත් සිදුවන බවත් ඔවුන් සිතුවා," යැයි ඇය පැවසුවා ය.

"නමුත් කාලයත් සමග, පාරිභෝගිකයන්ගෙන් ලැබෙන හොඳ ප්‍රතිචාර ඔවුන් දැක්කා. ඒ වගේ ම මේ වැඩ ශාරීරිකව වෙහෙසකර වුණත්, මගේ මානසික තත්ත්වය ක්‍රමයෙන් වඩා හොඳ වෙමින් පවතින බව ඔවුන්ට වැටහුණා."

තවමත් ඔවුන් කාර්යාල රැකියා වඩාත් "ගෞරවණීය" ලෙස සලකන නමුත්, ඇයගේ ව්‍යාපාරය හොඳ නමක් ගොඩනගා ගනිමින් අනෙක් කාන්තාවන්ට ද උපකාර කරන ආකාරය දැකීමත් සමග ඔවුන්ගේ ආකල්ප වෙනස් වෙමින් පවතී.

"දැන් මගේ අම්මා මට ලොකු සහයෝගය දෙනවා," යැයි ඇය පැවසුවාය.

"සමහර වෙලාවට ඇය මට උදව් කරනවා. මම වායු සමීකරණ යන්ත්‍රයක් පිරිසිදු කරනවා නම්, ඇය පහළ ඉඳලා මට අවශ්‍ය උපකරණ ලබා දෙනවා."

අතිරේක වාර්තාකරණය: ලේනි බැරන්

ප්‍රධාන ඡායාරූපය: පාත් පණ්ඩි