ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මීගමුව බන්ධනාගාර CCTVවල DVR යන්ත්‍ර මොරටුව සරසවියේ පරිගණක වෝහාරික රසායනාගාරයට
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 4
මීගමුව බන්ධනාගාරයේ ඇතිවු ගැටුම අතරතුර "කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් පහර දී කඩා බිඳ දමා තිබියදී" අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් බන්ධනාගාරයේ සවිකර තිබූ CCTV යන්ත්‍රවලට අදාළ DVR යන්ත්‍ර විශේෂ විමර්ශනයක් සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක වෝහාරික රසායනාගාරයට යැවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා වෙත අද (ජූලි 16) දැනුම් දුන්නේ ය.
මෙසේ දැනුම් දුන්නේ මීගමුව බන්ධනාගාර ගැටුමට අදාළ නීතී කෘත්‍ය මීගමුව ප්‍රධන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී ය.
මෙහිදි වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන කණ්ඩායම් කිහිපයක් මගින් අංශ කිහිපයක් ඔස්සේ පුළුල් කඩිනම් විමර්ශන කිහිපයක් සිදු කෙරෙමින් පවතින බවයි. එම විමර්ශනවල ප්‍රගතිය දැනුම් දීම සදහා දිනයක් ලබාදෙන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
මීගමුව බන්ධනාගාරයේ සිරකරුවන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර ගැටුම ඇතිවූ පරිශ්‍රය මිනින්දෝරු දෙපාර්තමේන්තුව ඩ්‍රෝන කැමරා මගින් සිතියම්ගත කර ඇති බව ද අධිකරණයට දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එකී ඩ්‍රෝන සිතියම් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඇති බව ද කියා සිටියේ ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව දැක්වූ කරුණු සැලකිල්ලට ගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ, මීගමුව බන්ධනාගාරයේ ගැටුම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන සවිස්තර වාර්තාවක් ජූලි 23 වන දා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ය.
මේ අතර, මීගමුව බන්ධනාගාර ගැටුමෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාගේ කෙටි පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළේ ය.
ගැටුමට හේතුව CIDය අධිකරණයට දැනුම් දෙයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජූලි 14 වැඩිදුර වාර්තාව මගින් අධිකරණයට දැනුම් දුන්නේ, කටුවැල්ලේගම සුරේෂ් නමැති බන්ධනාගාර සිරකරු බන්ධනාගාර නිලධාරීන්ට මරණ තර්ජනය කර කලහකාරී ලෙස හැසිරීමත් සමග බන්ධනාගාර නිලධාරීන් සහ සිරකරුවන් අතර ගැටුම ඇති වී ඇති බව ය.
ඔහු එලෙස හැසිරී ඇත්තේ තමන්ට ව්‍යායාම කිරීමට ලබා දී ඇති කාලය ප්‍රමාණවත් නොවන බවට චෝදනා කරමින් බවට, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනට සිදුකර ඇති මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පැවසීය.
බන්ධනාගාරය තුළ සිටි සියලු රැඳවියන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අවසර
මීගමුව බන්ධනාගාර ගැටුමින්න් බන්ධනාගාර පොලිස් හදිසි උපක්‍රමික බළකායේ (බන්ධ පොලිස්) නිලධාරීන් දස දෙනෙකු සහ රැඳවියන් 20 දෙනෙකු ඝාතනය වීම සහ බන්ධනාගාර දේපළවලට රු. කෝටි 12කට අධික හානි සිදුවීම සම්බන්ධයෙන් දැනට බන්ධනාගාර නිලධාරීන් සහ සිරකරුවන් ඇතුළු 287 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇති බව ද එදින අධිකරණය හමුවේ පැවසූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම ගැටුම සිදුවන අවස්ථාවේ මීගමුව බන්ධනාගාරය තුළ රඳවා සිටි සියලු රැඳවියන්ගෙන් වෙන් වෙන් වශයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව ද පැවසීය.
ගැටුම සිදුවන අවස්ථාවේ එහි රඳවා සිටි බොහෝ රැඳවියන් මේ වන විට දිවයින පුරා ඇති වෙනත් බන්ධනාගාරවල රඳවා ඇති බැවින් ඔවුන්ගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීමට අවසර සහ පහසුකම් සලසා ලෙසට වැඩ බලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එදින අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
එම කරුණු දැක්වීම සැලකිල්ලට ගත් මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කළේ, ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය යැයි කියන දිවයිනේ ඕනෑ ම බන්ධනාගාරයක රඳවා සිටින රැඳවියන්ගෙන් මීගමුව බන්ධනාගාර ගැටුමේ විමර්ශනවලට අදාළව ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර සහ පහසුකම් සලසා දෙන ලෙසයි.
මීගමුව බන්ධනාගාර ගැටුමට සම්බන්ධ බවට හඳුනා ගන්නා සිරකරු සැකකරුවන්ට මිනී මැරුම් චෝදනා යටතේ ගිනිඅවි ආඥා පනත යටතේ සහ පොදු දේපළ පනත යටතේ නඩු පවරන බවත්, දණ්ඩ නීතී සංග්‍රහයේ 102, 113, 146, 186, 300, 315, 316, 317 සහ 344 වගන්ති යටතට ගැනෙන වැරදි සම්බන්ධයෙන් ද නඩු පැවරීමටත් අපේක්ෂා කරන බව මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අතුරු වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට දන්වා සිටියේ ය.
මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් මීගමුව මූලස්ථාන පොලිසිය මගින් සිදු කෙරුණු සියලු විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු යටතට පත් කළේ, මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මීට පෙර ලබා දුන් නියෝගයකට අනුව ය. ඒ, පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරියගේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.