මෙසී, මැරඩෝනා සහ පේලේ අතරින් පාපන්දු ලොව ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා කවුද?

    • Author, ජූලියා ග්‍රෑන්ෂී
    • Role, බීබීසී බ්‍රසීල සේවය
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 7

ලියොනෙල් මෙසී තම ක්‍රීඩා ජීවිතයේ තෙවන ලෝක කුසලාන අවසන් මහා තරගයට සූදානම් වන අතරතුර නැවතත් මේ සුපුරුදු ප්‍රශ්නය මතු වී තිබේ: මෙම ආර්ජන්ටිනා සුපිරි තරුව පාපන්දු ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා ද? ඔහු තමාට පෙර සිය රට නියෝජනය කළ ඩියෙගෝ මැරඩෝනා සහ බ්‍රසීලයේ පේලේ අභිබවා ගොස් තිබේ ද?

වයස අවුරුදු 39ක් වුව ද මෙසී, තවමත් 2026 ලෝක කුසලානයේ ආර්ජන්ටිනා කණ්ඩායමේ ප්‍රධාන චරිතයක් ලෙස රැඳී සිටියි.

තරුණ වියේ තිබූ වේගවත් හා ප්‍රහාරාත්මක ක්‍රීඩා රටාව තවදුරටත් නොපෙන්වුව ද, තම ක්‍රීඩා දැක්ම, නිවැරදි ස්ථානගත වීම සහ තීරණ ගැනීමේ හැකියාව මගින් මෙසී තවමත් තරගවල ප්‍රතිඵලය කෙරෙහි බලපෑම් කරන බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඔහු බොහෝ අවස්ථාවල පිටිය තුළ සිටින පුහුණුකරුවෙකු ලෙස ද ක්‍රියා කරන බව ඔවුන්ගේ අදහසයි.

නමුත් ඔහු තම ප්‍රතිවාදීන් අභිබවා ගොස් තිබේ ද?

මෙසී වෙනුවෙන් ඉදිරිපත් වන තර්ක

මෙසී පාපන්දු ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ ඉහළ ම ස්ථානයේ තබන අය සාමාන්‍යයෙන් පෙන්වා දෙන කරුණු දෙකකි: එනම් දීර්ඝකාලීන පැවැත්ම සහ අඛණ්ඩ ස්ථාවරත්වය යි.

බොහෝ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයින්ගේ උපරිම දක්ෂතා දැක්වූ කාලය සාපේක්ෂව කෙටි වූ නමුත්, මෙසී දශක දෙකකට ආසන්න කාලයක් ලෝකයේ ඉහළ ම ක්‍රීඩකයන් අතර රැඳී සිටියේ ය.

මෙම කාලය තුළ මෙසී වාර්තාගත ලෙස බලෝන් ඩෝර් සම්මාන අටක්, ස්පාඤ්ඤයේ සහ ප්‍රංශයේ ලීග් ශූරතා, චැම්පියන්ස් ලීග් කුසලාන, කෝපා ඇමෙරිකා සහ කටාර්හි පැවති 2022 FIFA ලෝක කුසලානය දිනා ගත්තේ ය. ඔහු ගෝල ලබා ගැනීම සහ ඒ සඳහා සහය වීම සම්බන්ධයෙන් කැපී පෙනෙන වාර්තා පිහිටුවා තිබේ.

ඔහුගේ ආධාරකරුවන් තවදුරටත් පවසන්නේ, මෙසී විවිධ කණ්ඩායම් සහ තරගවලදී සාර්ථක වී ඇති බවත්, එය බාර්සිලෝනා කණ්ඩායම යුරෝපීය පාපන්දු ක්‍රීඩාවේ ආධිපත්‍යය දැරීමට සහ ආර්ජන්ටිනාව නැවතත් ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාවේ ශක්තිමත් කණ්ඩායමක් බවට පත්වීමට උපකාරී වී ඇති බවත් ය.

ඔහුගේ දක්ෂතාව, ස්ථාවරත්වය සහ දිගු වෘත්තීය ජීවිතය නිසා ඔහු පාපන්දු ඉතිහාසයේ අනෙක් සෑම ක්‍රීඩකයෙකුට ම වඩා කැපී පෙනෙන බව මෙසීගේ ආධාරකරුවෝ පවසති.

ප්‍රංශ ප්‍රහාරක ක්‍රීඩක තියෙරි ඕරී ද ඔහු සමග බාසිලෝනා කණ්ඩායමේ ක්‍රීඩා කළ සිය සගයා තුළ සුවිශේෂී මට්ටමේ තරගකාරීත්වයක් ඇති බව හඳුනා ගනී.

ස්පාඤ්ඤ පුවත්පතක් වන මාර්කා සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී ඕරී, කැටලෑන් ක්‍රීඩා සමාජයේ පුහුණු සැසි සිහිපත් කරමින් පැවසුවේ, මෙසීට අසාධාරණයක් සිදු වූ බවක් හැඟුණු මොහොතක ඔහුගේ හැසිරීම සම්පූර්ණයෙන් ම වෙනස් වීමට එය පමණක් ප්‍රමාණවත් වූ බව ය.

"මෘගයා අවදි කරන්න එපා," යැයි පවසමින් මෙම ප්‍රංශ ජාතික ක්‍රීඩකයා පෙන්වා දුන්නේ, වරදක් සිදු නොවූ බව විශ්වාස කිරීමෙන් පසු මේ ආර්ජන්ටිනා ක්‍රීඩකයා ගෝල කිහිපයක් ඉක්මනින් ලබා ගත් අවස්ථා ද සිහිපත් කරමිනි.

මැරඩෝනාගේ සෙවණැල්ල

ආර්ජන්ටිනාවේ සාමාන්‍යයෙන් පේලේ හෝ අනෙකුත් ගෝලීය තරුවලට වඩා මෙසී ඩියේගෝ මැරඩෝනා සමග සංසන්දනය කෙරේ. 1986 FIFA ලෝක කුසලානය දිනා ගැනීමට ආර්ජන්ටිනාව මෙහෙයවූ නායකයා වූයේ මැරඩෝනා ය.

මැරඩෝනාගේ බලපෑම පාපන්දු ක්‍රීඩාව ඉක්මවා ගිය එකකි. බොහෝ ආර්ජන්ටිනා වැසියන් සඳහා ඔහු ජාතික අනන්‍යතාවයේ සංකේතයක් බවට පත්විය.

"මැරඩෝනා කියන්නේ ආර්ජන්ටිනාවේ රජු. තෝරාපත් කරගත් රජෙක් නෙවෙයි, සරලව ම ඔහු රට නියෝජනය කරනවා," මෙසී සම්බන්ධයෙන් වාර්තා කරන ප්‍රධාන ලේඛකයෙකු වන ස්පාඤ්ඤ මාධ්‍යවේදී ගිලියම් බලාගේ බීබීසී බ්‍රසීල සේවය වෙත පවසයි.

වසර ගණනාවක් පුරා ඇතැම් ආර්ජන්ටිනා වැසියෝ මෙසීගේ හැකියාවට ගරු කළ ද, මැරඩෝනා වඩාත් අව්‍යාජ ජාතික චරිතයක් ලෙස සැලකූහ.

මැරඩෝනා දිළිඳු පවුලක දරුවෙකු ලෙස හැදී වැඩුණේ ය. ඔහු 2020දී මිය ගිය අතර, බලධාරීන්ට අභියෝග කිරීම, දේශපාලනය කිරීම සහ බොහෝ අය අගය කළ කැරලිකාර හා ආකර්ෂණීය ප්‍රතිරූපයක් තිබීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විය.

ඊට වෙනස්ව, මෙසී සම්පූර්ණයෙන් ම වෙනස් මාර්ගයක් අනුගමනය කළේ ය. පිටියෙන් පිටත සංයමයෙන් කටයුතු කළ ඔහු, දේශපාලනික ප්‍රශ්න ගැන කතා කිරීමට අකමැති වූ අතර, සම්පූර්ණයෙන් ම පාහේ පාපන්දු ක්‍රීඩාවට අවධානය යොමු කරමින්, ක්‍රීඩාවට පිටත අවධානය යොමු කර ගැනීමෙන් බොහෝ දුරට වැළකී සිටියේ ය.

මෙසී ඔහු ගැන ජනතාව සිතා සිටි ආකාරය වෙනස් කළේ කෙසේ ද?

2021දී ආර්ජන්ටිනාව කෝපා ඇමෙරිකා ශූරතාව දිනා ගැනීමෙන් පසු, මෙසී පිළිබඳ ආකල්ප වෙනස් වීමට පටන් ගත්තේ ය. එම ජයග්‍රහණය වසර 28ක ප්‍රධාන ජාත්‍යන්තර කුසලාන බලාපොරොත්තුවකට අවසන් අදියරකට ගෙන ආවේ ය.

2022 ලෝක කුසලානය අතරතුර මෙසී ආර්ජන්ටිනාව තෙවන ලෝක ශූරතාව කරා මෙහෙයවීමත් සමග මෙම වෙනස තවත් වේගවත් විය.

එම තරගාවලියේදී මෙසීගේ වඩාත් හැඟීම්බර සහ අභියෝගාත්මක පැත්තක් දැකගත හැකි වූ අතර, බොහෝ රසිකයන් මැරඩෝනාට ආරෝපණය කළ නායකත්ව භූමිකාව ද ඔහු විසින් ඉටු කරන අයුරු පෙනී ගියේ ය.

"ඔහු ඔහුගේ පෞරුෂයේ අලුත් ස්ථර හෙළි කළා," බලාගේ පවසයි. "මිනිස්සු ඔහුව කණ්ඩායමේ ජෙනරල් ලෙස දකින්න පටන් ගත්තා."

බොහෝ ආර්ජන්ටිනා ජාතිකයින්ට, මෙසී පෙරට වඩා මැරඩෝනාට බොහෝ සමීප වී ඇති බව දැනෙන්නට එම අවස්ථා උපකාරී විය.

එහෙත් බලාගේ විශ්වාස කරන්නේ මෙම විවාදය තවමත් සම්පූර්ණයෙන් ම අවසන් වී නොමැති බව ය.

"අද වන විට මෙසී පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස මැරඩෝනා අභිබවා ගොස් තිබෙනවා," ඔහු පවසයි. "නමුත් තවමත් මැරඩෝනා තමන්ව වඩා හොඳින් නියෝජනය කළ බව හැඟෙන ආර්ජන්ටිනා වැසියන් ඉන්නවා."

පේලේ වෙනුවෙන් ඉදිරිපත් වන තර්ක

ඇතැම් විශ්ලේෂකයන් තවදුරටත් තර්ක කරන්නේ, මෙසී සිය රට නියෝජනය කළ ක්‍රීඩකයා පමණක් නොව, 2022 දී මියගිය "පාපන්දු රජු" ලෙස ප්‍රසිද්ධ බ්‍රසීලියානු පුරාවෘත්තය වන පේලේ ද අභිබවා ගොස් ඇති බව ය.

1958, 1962 සහ 1970 දී බ්‍රසීලයට ලෝක ශූරතාව දිනා ගැනීමට උදව් කරමින්, FIFA ලෝක කුසලාන තුනක් දිනා ගත් එක ම ක්‍රීඩකයා තවමත් පේලේ ය.

2018දී බ්‍රසීලියානු පුවත්පතක් වන Folha de S.Paulo සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී, පේලේ පවසා තිබුණේ මැරඩෝනා "මෙසීට වඩා බොහෝ හොඳ ක්‍රීඩකයෙකු" බව ය.

ඔහු පවසා තිබුණේ මෙසී තම වම් පාදය මත අධික ලෙස රඳා පවතින බවත්, අනෙකුත් ශ්‍රේෂ්ඨ පාපන්දු ක්‍රීඩකයන් සතුව තිබූ සම්පූර්ණ ක්‍රීඩා හැකියාව ඔහුට නොමැති බවත් ය.

"[ෆ්‍රාන්ස්] බෙකන්බවර් සහ [යෝහන්] කෘයිෆ් ගොඩක් හොඳයි," පේලේ පැවසුවේ, 1970 දශකයේ උච්චතම දස්කම් දැක්වූ ජර්මානු සහ නෙදර්ලන්ත පාපන්දු ක්‍රීඩකයන් ගැන සඳහන් කරමිනි.

හිටපු බ්‍රසීල ජාත්‍යන්තර ක්‍රීඩක ටෝස්ටා දැරුවේ වෙනත් අදහසකි. 2021දී ඔහු තර්ක කළේ, මෙසී මැරඩෝනා අභිබවා ගොස් ඇති නමුත් ඔහු තවමත් බ්‍රසීලියානු පුරාවෘත්තයට පහළින් සිටින බව ය.

"පේලේගෙන් පස්සේ, මෙසී තමයි ඉතිහාසයේ හොඳ ම ක්‍රීඩකයා," ටෝස්ටා පැවසීය. "ඔහු මැරඩෝනාට වඩා පරිපූර්ණ ක්‍රීඩකයෙක් සහ ඔහුට වඩා දිගු වෘත්තීය ජීවිතයක් තිබුණා. පේලේ සහ මෙසී අතර වෙනස ශාරීරික පැත්ත. පේලේ වඩාත් ශක්තිමත් සහ විශිෂ්ට ක්‍රීඩකයෙක් වුණා."

තම කුසලතා මෙසී සමග සැසඳිය නොහැකි බව ද පේලේ විසින් ම තර්ක කරනු ලැබීය.

"පන්දුවට හොඳින් හිසෙන් පහර දෙන, වම් පාදයෙන් පහර දෙන, දකුණු පාදයෙන් පහර දෙන කෙනෙක් සහ එක පාදයකින් පමණක් ක්‍රීඩා කරන, එක ම දක්ෂතාවක් ඇති, හිසෙන් හොඳින් පන්දුවට පහර නොදෙන තවත් කෙනෙක් අතර ඔබට සැසඳීමක් කරන්නේ කොහොම ද?" ඔහු Folha de S.Paulo වෙත පැවසීය.

"පේලේ සමග සංසන්දනය කරන්න නම්, වම් පාදයෙන් පහර දෙන, දකුණු පාදයෙන් පහර දෙන, සහ හිසෙන් පහර දීලා ගෝල ලබාගන්නා කෙනෙකු විය යුතු යි."

සංඛ්‍යාලේඛනවලින් ඔබ්බට

මෙම මතභේදය තවත් පුළුල් ගැටලුවක් ඉස්මතු කරයි. ශ්‍රේෂ්ඨත්වය තීරණය කළේ සංඛ්‍යාලේඛන මත පමණක් නම්, මෙම විවාදය දැනටමත් අවසන් වී තිබිය හැකි ය.

පෞද්ගලිකව හා කණ්ඩායමක් ලෙස මෙසී ලබාගත් විවිධාකාර මට්ටමේ ගෞරව නාම අසමසම ය.

එහෙත් පාපන්දු ක්‍රීඩාවේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින් අතර සැසඳීම් මෙතරම් විවාදාත්මකව පවතින්නේ මන්දැයි සංඛ්‍යාවලින් පමණක් පැහැදිලි කළ නොහැක.

මෙම සාකච්ඡාව සංකීර්ණ වන සරල හේතුව වන්නේ පේලේ, මැරඩෝනා සහ මෙසී සම්පූර්ණයෙන් ම වෙනස් යුගවල ක්‍රීඩා කළ බැවින් ය.

පේලේ 1958දී තම පළමු ලෝක කුසලානය ජයග්‍රහණය කරන විටදී, පාපන්දු ක්‍රීඩාවට නවීන ක්‍රීඩා විද්‍යාව, ගෝලීය රූපවාහිනී ආවරණය හෝ උසස් තාක්ෂණය තිබුණේ නැත.

1980 දශකයේ මැරඩෝනාගේ යුගය වන විට, ක්‍රීඩාව ලොව පුරා දැවැන්ත ලෙස ව්‍යාප්තව පැවතිය ද, එය අද පවතින බිලියන ගණනක ඩොලර් කර්මාන්තයෙන් බොහෝ දුරස්ව තිබිණි.

මෙසීගේ මුළු වෘත්තීය ජීවිතය ම පාහේ කාර්යසාධන විශ්ලේෂණ, දියුණු වෛද්‍ය සහය සහ අඛණ්ඩ මාධ්‍ය අවධානයෙන් හැඩ ගැසුණු පරිසරයක ගත විය. ලොව පුරා පුහුණුකරුවෝ, විචාරකයෝ සහ රසිකයෝ සෑම තරගයක් ම තරග කරන වේලාවේදී ම විශ්ලේෂණය කරති.

එහි ප්‍රතිඵලයක් ලෙස, එක් එක් පරම්පරාවලට අයත් ක්‍රීඩකයන් සැසඳීම වඩ වඩාත් දුෂ්කර වේ.

මෙසී "ශ්‍රේෂ්ඨ බුද්ධිමතෙක්" ලෙස විස්තර කර ඇති හිටපු බ්‍රසීල ක්‍රීඩක රොනාල්ඩෝ පවසා තිබුණේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා හඳුනා ගැනීම, භාවිත කරන නිර්ණායක මත රඳා පවතින බවය.

"නිර්ණායක නැතිව ඔබ තෝරා ගන්නේ කොහොම ද?" ඔහු විමසා සිටියේ ය.

පේලේ, මැරඩෝනා සහ මෙසීගේ වෘත්තීය ජීවිත සම්පූර්ණයෙන් ම වෙනස් ලෝකවල දිගහැරුණු බව නිසැකව ම සත්‍යයකි.

පේලේ පාපන්දු ක්‍රීඩාව සැබෑ අර්ථයෙන් ම ගෝලීය ක්‍රීඩාවක් බවට පරිවර්තනය කිරීමට උපකාරී විය. මැරඩෝනා ආර්ජන්ටිනාවේ ඉතිහාසයේ නොසන්සුන් කාලයකදී

ක්‍රීඩාවේ, දේශපාලනයේ සහ සංස්කෘතියේ සංකේතයක් බවට පත් විය. මෙසී සිය උරුමය ගොඩනැගුවේ ගෝලීයකරණය, ක්‍රීඩා විද්‍යාව සහ අඛණ්ඩ මාධ්‍ය ආවරණයෙන් හැඩ ගැසුණු යුගයක ය.

ක්‍රීඩකයින් තිදෙනා තරග කළේ ගැඹුරු පරිවර්තනයකට භාජනය වූ ක්‍රීඩාවක ය. ඔවුහු සම්පූර්ණයෙන් ම වෙනස් තත්ත්වයන්, කාලසටහන්, අභියෝග සහ අපේක්ෂාවන්ට මුහුණ දුන්හ. අවසාන වශයෙන්, ඕනෑ ම විනිශ්චයක් රඳා පවතින්නේ වඩාත් ම වැදගත් දේ මත ය. එනම්, දක්ෂතාව, ජයග්‍රහණ, බලපෑම, දිගුකාලීනත්වය හෝ සංස්කෘතික බලපෑම මත ය.

මෙම විවාදය අවසන් වීමට ඉඩක් නැත්තේත්, පාපන්දු ක්‍රීඩාවේ ශ්‍රේෂ්ඨතම තර්කය පරම්පරා ගණනාවක් පුරා සජීවීව පවතින්නේත් මේ නිසා ය.

ග්‍රැෆික් නිර්මාණය: බීබීසී බ්‍රසීල සේවයේ කැරොලින් සෝසා සහ ලයිස් අල්ලිගෙත්‍රි